(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

තේ කම්හල්වල  විදුලිය බිල දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන්  එම කම්හල් පවත්වාගෙන යෑමේ  දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැගී  ඇතැයි  තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.

සාමාන්‍යයෙන්  තේ කිලෝ 50,000 ක පමණ නිෂ්පාදනයක් සහිත  තේ කම්හලක දළ වශයෙන්  රුපියල් ලක්ෂ පහක් වශයෙන්   පැවති විදුලිය බිල විදුලි බිලේ නව  සංශෝධනය සමග  රුපියල් ලක්ෂ දහයක් දක්වා ඉහළ  ගොස්  ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් තේ දළු කිලෝ එකක් නිෂ්පාදනය සඳහා මෙතෙක් විදුලිය වෙනුවෙන් වැයවූයේ රුපියල් 12ත් 15 ත්  අතර  මුදලකි. විදුලි මිල සංශෝධනයත් සමග  එම මුදල රුපියල්  30-35   දක්වා ඉහළ නැග ඇතැයි  තේ නිෂ්පාදකයෝ පවසති.

තේ මිල තවදුරටත්  පහළට ගිය හොත් තේ කම්හල් පවත්වාගෙන යෑමේ  බරපතල අවදානම් තත්වයක් මතුවිය හැකි බව පෙන්වා දෙන  සභාපතිවරයා  විදුලිය කප්පාදු කරන අවස්ථාවලදී  විදුලිය උත්පාදක යන්ත්‍ර
ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් විශාල වශයෙන් වැය කිරීමට සිදුවීම නිසා ඒ සඳහාද තේ කම්හල් හිමියන්ට අද  අමතර වියදමක් දැරීමට සිදුව ඇති
බව ප්‍රකාශ කළේය.

එසේම බැංකු පොලී වැඩිවීමද තේ කර්මාන්තයට ඉතාමත් නරක ආකාරයට බලපා ඇතැයි ලයනල් හේරත් මහතා වැඩිදුරටත්  සඳහන් කළේය. ආර්ථිකයට දායක වන තේ  කම්හල්  550 ක් රට පුරා දැනට ක්‍රියාත්මක වේ.