(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හෙයින් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන සෙසු පුද්ගලයින් තමාට රට ගොඩනැගීමට නොහැකි වන බව දන්නා හෙයින් ඔවුන් කළ යුත්තේ රට ගැන සිතා ඉල්ලුම්පත්‍ර වත් බාරදී නොදී සිටීම බව අබේවර්ධන මහතා කීය.

බැරි බව දැන ජනතාවට අනවශ්‍ය බරක් පටවන්නේ නැතිව සිටීම ඔවුන්ගේ වගකීම යැයි ද අබේවර්ධන මහතා කීය.

රටේ නායකත්වය බාරගෙන අරාජික රට ගොඩ නැගීමට සියලු දේශපාලන පක්ෂවලට අවස්ථාව උදාවුණත් එම අවස්ථාවේදී අද කතා කරන සියලුදෙනා එම වගකීම පැහැර හැරිය බව කී අබේවර්ධන මහතා එම වගකීම බාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණක් බව සඳහන් කළේය. දැන් කළ යුත්තේ වත්මන් ජනාධිපතිට රට ගොඩනැගීමට අවස්ථාව දී ඔහුට එය කිරීමට සහයෝගය ලබාදීම පමණකියි ද එජාප සභාපතිවරයා පැවසීය.