(යොහාන් භාසුර)

මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්‍යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමාන තත්වය තුළ වෛද්‍යවරු දහසක් පමණ විදේශ රටවල්වලට යොමුකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ හිඟයට වඩා වෛද්‍යවන්ගේ සේවය ව්‍යාප්තවීමේ අසමතුලිත බව වර්තමාන තත්වයට හේතු වී ඇති බව කියන වෛද්‍ය බෙල්ලන මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 60 කට වඩා වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ සේවයේ යෙදී සිටින බව ද සඳහන් කළේය.

වෛද්‍යවරු වෙනත් රටවලට යෑමේදී වංචාවලට සම්බන්ධ සොරුන් සේ සළකා කටයුතු කරන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීම අනුමත කළ නොහහැකි බවත් ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥා වෛද්‍යවරුන්ගේ හිඟයට හේතුව රජය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 ක් දක්වා ඉහළ දැමීමට ගත් අදූරදර්ශී තීරණය බවත් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා කීය.

මෙම තත්වය මත තරුණ වෛද්‍යවරු රට හැරයෑම ඉහළ ගොස් ඇතු බව ද වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් පැවසීය.