රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් දුවන්නේ රාජපක්ෂලා වෙනුවෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
බ්‍රහස්පතින්දා (19) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ඒ බව සඳහන් කළේය.
අගමැතිගේ විශේෂ ප්‍රකාශ පහත දැක්වේ.
‘‘මෙරට තරුණයන් සහ වෘත්තීයවේදීන් සහභාගි වන විශාල පෙළපාළියකට එක් වන්නැයි එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා ලැබී තිබෙනවා. අපත් එම පෙළපාළියට එකතු වීමට තීරණය කර තිබෙනවා.
විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මන් සංචාරයත් එම වැඩපිළිවෙළට පිටුවහලක් වේවි. එම වැඩ කටයුතු කඩිනමින්ම ඇරැඹිමට නියමිතයි.
වසර 5 ක් ඇතුළත රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමේ කටයුතු අපගේ වෙළෙඳපොළ මගින් පමණක් කරන්නට හැකියාවක් නැහැ. 1977 වසරේදීත් අප රැකියා බිහි කිරීම සඳහා විදේශ රටවල සහයෝගය ලබා ගත්තා. එදා අප බෙහෙවින්ම යුරෝපීය වෙළෙඳපොළේ සහයෝගය ලබා ගත්තා. අද අප ආසියාවේ වෙළෙඳපොළ සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය ඒ අතර ප්‍රධාන වනවා. සිංගප්පූරුව, චීනය, ජපානය, ඉන්දියාව මෙන්ම යුරෝපය සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත් පසුව ආයෝජකයන් අප රටට පැමිණෙනවා. මෙම කටයුතු සඳහා පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. විදේශයන් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර රැකියා උත්පාදනය කරන බව අප මැතිවරණයේදී පැහැදිලිව කියා සිටියා.
මේ අතර ජාතික රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට විරුද්ධව ක්‍රියා කරන පිරිසක් සිටිනවා. අප රැකියා ලබානොදුන්නොත් අපට දොස් කියන්නැයි මා ඔවුන්ට පවසනවා. අප ගමන් කරන වේගය මදි නම් අපට දොස් කියන්නැයි මා ඉල්ලා සිටිනවා. නමුත් මේ ගමන නවත්වන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. සියලූම කඩාකප්පල්කාරීන්ට මුහුණදීමට අප සූදානම්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කිහිපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවෙයි. එම සංගමයේ දැනට සිටින නිලධාරීන් මහින්ද රාජපක්‍ෂලා පසුපස දුවන විට අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. එම ජන වරමෙන් අනතුරුව පාදෙනිය ප්‍රමුඛ පිරිසක් පැමිණ මා හමුවුණා. දැන් ඔවුන් නැවත මේ අයුරින් ක්‍රියා කරනවා නම් ඊට දේශපාලන වශයෙන් පිළිතුරු දී එම සංවිධානය දේශපාලන සංවිධානයක් ලෙස පිළිගැනීමට අප සූදානම්. මේ පිරිස මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් කඩේ ගියා. එය ඔප්පු කිරීමට සාක්‍ෂි තිබෙනවා. මේ පිළිබඳව කතා කරන්න එපා යැයි ඔවුන් මා හමු වී පැවසුවා.
මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. ඊට විරුද්ධ වෙන්නට ඔවුන්ට තිබෙන අයිතිය කුමක්ද? මොවුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මම මොවුන් නගන චෝදනාව පිළිබදව සොයා බැලූවා. එමෙන්ම පොලිසියෙන් ද වාර්තාවක් ලබා ගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිසිය එම පැමිණිල්ල විභාග කර තිබෙනවා. "Establishment of 'Specialist Registry' & Introduction of an evaluation procedure for foreign medical specialist" නැමැති ග්‍රන්ථයේ ඇතුළත් කර ඇති 67ඒ වගන්තියට සමානව වෛද්‍ය ආඥා පනත සංශෝධනය කර අනුමැතිය ලබා ගැනීම සඳහා යෝජනා කරන ලද කෙටුම්පතක් අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති නමුත් එම කෙටුම්පත මෙතෙක් අනුමත වී නොමැති බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතෙ යනුවෙන් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.
මේ පැමිණිල්ලේ ඇත්ත – නැත්ත පිළිබඳව මා දන්නේ නැහැ. විමර්ශන කටයුතු සඳහා මෙම පැමිණිල්ලේ පදනමක් තිබෙන බව පොලිසිය පවසනවා. මේක පුදුම වැඩක්... කවුරු හරි ගිහින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පැමිණිල්ලක් කළොත් ඒක මගේ ඇඟ උඩට එනවා. දැන් මේ අය වර්ජනයක යෙදෙනවලූ... කවුරු හරි වරදක් කර තිබේ නම් එය පොලිසිය විසින් විභාග කරනවා. අප ඊට ඇඟිලි ගහන්නේ නැහැ. පොලිසියේ පරීක්‍ෂණ සඳහා බලපෑම් කරන්නේ නැහැ. ඔය නිලධාරීන්, ඇම්බැට්ටයො රාජපක්‍ෂ රෙජීමයෙන් සියලූම වරප්‍රසාද ලබා ගත්තා.
අප මේ සියලූම දේ වෙනස් කරනවා. දේශපාලනය කරනවා නම් දේශපාලන සංගමයක් විදියට සලකන්න. දැන් ඔය සෙල්ලම නවත්වන්න. අපේ රටේ රෝගීන් අමාරුවේ දමා නැවත පාරට බහින්න ආවොත් අපත් පාරට බහින්න ලෑස්තියි. එවිට හොඳ පිළිතුරක් ලැබේවි. ඔය සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාලා සමග හැම දෙනාම නැහැ. බොහෝ දෙනෙක් මා හමුවී ඒ බව පවසා තිබෙනවා.
මේ චෝදනාව පළ කර ඇත්තේ "ඩේලි මිරර්" පත්‍රයේයි. "PM's office pressuring CID" යනුවෙන් එම පුවත පළ කර තිබෙනවා. ඉස්සෙල්ලා රහස් පොලිසියෙන් අහන්නෙ නැත්තෙ ඇයි? මේ "ඩේලි මිරර්" පත්‍රයේ ඔක්කොම කට්ටිය එදා රාජපක්‍ෂලා එක්ක ගියා. මා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි කේසර අබේවර්ධන එදා ලියා තිබුණා. අලූත් රාමුවට අනුව හැදෙන්න මම කාලය ලබා දී තිබෙනවා. එහෙම හැදෙන්න බැරි නම් බොරු නොලියා කේසර අබේවර්ධනටත් ගෙදර යාමට අවස්ථාව තිබෙනවා. මේවාට ඉඩ දෙන්න අප ලෑස්ති නැහැ. ‘දෙරණ‘ නැවත සෙල්ලම පටන් ගෙන තිබෙනවා. දෙරණ නැවතත් රාජපක්‍ෂලාට කඩේ යනවා නම් ඒ අය කරපුවා අපට කියන්න පුලූවන්. ඒ ගැන මෙතැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොවුන් කාන්තාවන්ට බැළලිය කියමින් අපහාස කරනවා. මේවා හැදෙන්න අවශ්‍යයි. හැදිල එන්න බැරි නම් අපත් ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජනතාව දුන් වරම නැවත කඩාකප්පල් කිරීමට නැවත මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ.
නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර තරුණයන් සඳහා රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම සඳහා ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. මොවුන් බහුතර ජන මතයට විරුද්ධව කටයුතු කරන්නේ ඇයි? මොවුන් නැති කරන්නේ ජනතාවගේ විකාශන අයිතියයි. ඊට අප ඉඩ දෙන්නේ නැහැ. ‘ඩේලි මිරර්‘ පත්‍රය හෝ ‘දෙරණ‘ හෝ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙළ නවත්වනවා නම් අප ඊට ඉඩ දෙන්නේ නැහැ. මෙම ක්‍රියාවන්ට විරුද්ධව අප පාරට බහිනවා. විරුද්ධව සටන් කිරීම අපට ප්‍රශ්නයක් නොවෙයි. විරුද්ධවාදීන් ගෙනෙන සෙනග වගේ දස ගුණයක් ගෙනවුත් පෙන්වන්න අපට පුළුවන්. ඔය සෙල්ලම නවත්වන්නැයි මා සියලූම දෙනාට පවසනවා. කාට හරි හානියක් වෙනවා නම් අපට කියන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිම හානියක් වන්නේ නැතැයි අපේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේ නම් මොවුන් දැන් කරන්නේ දේශපාලනයක්. මොවුන් දුවන්නේ රාජපක්ෂලා වෙනුවෙන්. තරුණයන් පාරට බැස්සාම මොවුන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකියි.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්, ඔන්න ඔහොම කෙලින් යන්. හරි දේ කරන්න ජනතාව ඔබතුමා සමග. (ර)
මහින්දට උදවු කරන එක වරදක් නොවේ (බ)
එක්ටා ගිවිසුම පිළිබද සියලු දේ ජනතාවට හෙළි කරන්න. එහි හානියක් නැත්නම් අපි ඔබ සමග පෙළපාලි යන්න එනවා. (ර)
බලය හීනයක් වෙලා තිබුණු වේලි වේලි හිටපු සමහරක්ට හිතා ගන්න බැරි බලයක් එකපාර ලැබුනම මනස විකෘති වෙනවා. අවුරුදු දෙකෙන් අකුලා ගෙන ගිහිල්ල අවුරුදු 13 බලාගෙන ඉන්න වුනා..මේ යන විදියට මේ පාරත් වෙන්නේනම් ඒකම තමයි..(බ)
ඔබතුමාට විතරයි ඔහොම බය නැතිව කතා කරන්න ශක්තිය තියෙන්නේ මොකද ඔබතුමා හොරෙක් නොවන නිසා සහ හොරකම් කරන්න ඉදිරියේදීත් බලාපොරොත්තුවක් නැති නිසා. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියල යහපාලනයට ලැදි අපේ පැතුමයි. (බ)
තර්ජනය, මර්දනය, උඩඟුකම, ඒකාධිපතිත්වය, ඉදිරි ජවනිකා වල පෙර රාමු. මෙය නොවෙයි යහපාලන ප්‍රතිපත්ති. රනිල්ට ජාතිකත්වය, සාමාන්‍ය ජනතාව පිළිබඳ සංවේදීතාව ඇත්තෙම නැහැ. මෙය භයානක ආරම්භයක මුල වෙන්න පුළුවන් බොහෝදුරට. (නි)
රටක පාලකයෙක් නිහතමානි වියයුතුය. (ර)
මොනවා කියනවද කියලා දන්නේ නැහැ. හැම කෙනෙකුටම බනිනවා. දෝෂාරෝපණය කරනවා. කරපු වැඩක් නම් නැහැ. (නි)
කවුරුවත් කාටවත් කඩේ යන බවක් අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)
88-89 කාලේ ටයර්වල ගිය තරුණයොත් පෙළපාලියේ යාවි. (බ)
තරුණයන් පාරට බැස්සාම මොවුන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකියි.‘‘ ඒ කියන්නේ 89-90 වගේ.. (බ)
රැකියාව නැතිකම නිසා සහ ජීවත්වීමේ අපහසුව නිසා මේ රටේ පෙනෙනතෙක් මානයේ බෝට්ටුවෙන් නැත්නම් කට්ටමරමෙන් පැමිණ ඉතිරි හරිය මුහුදේ පිහිනා මෙරටට පැමිණියවුන්ට, නීත්‍යානුකුලව මෙරට පැමිණ රැකියා කිරීමේ අවස්ථාව ලබා දුන්නහම මෙරට රැකියා විරහිත අයට යන කලදසාව කුමක්ද? මෙරට අයට ඉන්දියානු රැකියා කෙසේවෙතත් දකුණු ඉන්දියානුවන්ට මෙරට රැකියාව කිරීමේ වරම සහ සිංහලයා වැනසීමේ වරම ලැබේවි. (නි)
එහෙනම් දැන් මෙයාලට කඩේ යන අය ඕන තරම් ඉන්නේ..ඒවා ගැන ඇයි මෙයා කතා කරන්නේ නැත්තේ..වැරද්දක් පෙන්නුවොත් කඩේ යනවා..නැත්තම් හොදායි..!! අපි නොදන්න අගමැති..(බ)
ගියපාර තරුණයන්ට කරපුදේම කරයි වගේ (කෞ)
රැකියා උත්පාදනය වන ආකාරය රටට විස්තර සහිතව පෙන්වන්න. කඩේ යන අයට හොද පාඩමක් උගන්වන්න. (ර)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපව ප්‍රාණ ඇපයට ගන්න එක වළක්වනවා නම් අපි හැමවිටම ඔබ සමගයි. (ර)
සැළෙන්න හොඳ නැහැ. ඔහුට විතරයි පුළුවන්. අනෙක් පුද්ගලයන්ට එය නොහැකියි. රස්සා වලිනුත් අස්කරන්න කියනවා. මේකද යහපාලනය? ලැජ්ජයි. (නි)
යහපාලානේ ඉවසීම සමහරු දුර්වලකමක් කියා සලකනවානම් එයාලට ඉතින් පාඩමක් නූගන්වා කොහොමද ? (බ)
මහින්දට කට්ටිය කඩේ යන එක හරි. එහෙත් එකට උත්තරේ ඕක නෙවෙයි.බලය ටිකක් ලැබුනහම කට්ටිය ඉදිමෙනවා ,මේක නෙවෙයි යහපාලනය .හරි දේ කරනවා නම් කවුරු කාට කඩේ ගියත් බයවෙන්න එපා. හැමදාම හදන අයවැයක් හරියට එකවර හදාගන්න තරම් නොහැකි අය නොදන්නා ක්ෂේත්‍රවල ජාත්ත්‍යන්තර ගිවිසුම් වලට කොහොම එළඹෙන්නද. ? . අදාල ක්ශේත්‍ර වල පළපුරුදු ඇති වෘත්තියවේදීන් ගෙන් අහල විමසල දැනගෙන ගිවිසුම් වලට ගියානම් මෙහෙම ප්‍රශ්න අත්වෙන්නේ නැහැ නේද? (බ)
කරුණාකර රජයේ වෛද්‍ය සංගමයේ වෙබ් අඩවිය බලන්න. දොස්තර පාදෙනියගේ කතාවට සවන් දෙන්න. ඉන්පසුව කවුරුන් හරිද කියා ඔබට තීරණයක් ගතහැකිය (නි)
මේ වගේ කතා කරන එක සාධාරණ නෑ.(හේ)
බලය ලැබුනම කට්ටිය වෙනස් වෙනවා.(හේ)
ඉතාම නරක සෞඛ්‍ය සේවයක් ඇති ඉන්දියාවෙන් හදිසි ගිලන් රථ සේවාවක් ලංකාවට ගෙන්වන්න හදන්නේ මොකටද? අපේ සෞඛ්‍ය සේවය බාල්දු කරන්න එපා (නි)
රජයේ තීරණවල වැරදි පෙන්වන්න හදනවිට 'මහින්දට කඩේ යනවා ' කිවුවාට හරියන්නේ නැත. ඔබ ගත් තීරණය නිවැරදි බව හැකි නම් බුද්ධිමත් ජනතාවට පැහැදිලි කර දෙන්න. (නි)
ඔය කිසිම වෘත්තීය වගකීමක් නැති රටේ වෙදාලට නම් පාඩමක් උගන්නන්න ඕන. ඒ වගේම තමයි වගකීමක් නැති දේශපලුවන්ටත් පාඩමක් උගන්නන්න ඕන. එත් කවුද එහෙම කරන්න ඉන්නේ? ඔක්කොම එකයි. (හේ)
ඒ දේ හරියටම ඔබ තුමා දන්නේ කොහොමද?(හේ)
මේ එක්ටා ගිවිසුමෙන් වාසිය අත්වෙන්නේ ඉන්දියාවේ ඉන්න තරුණයින්ට මිසක් ලංකාවේ තරුණයින්ට නෙවෙයි. (ර)
අනේ මන්දා මහත්තයෝ ඕවා! (නි)
බන්දුල, ඔබේ අදහසත් සමග එකගයී. (ර)
අපේ රැකියා වෙළඳපල ඉන්දියාවට විවුර්ත කලාම අපේ රටේ අයට රැකියා හැදෙන්නේ කොහොමද කියල කවුරුහරි අහනවද කරුණාකරලා? රැකියා හදන්න ඕන ආයෝජන, එක දැනටමත් කරන්න පුළුවන්. මොකටද අපේ සේවා රැකියා ඔවුන්ට දෙන්නේ? එකෙන් කොහොමද අපිට රැකියා හැදෙන්නේ? (ර)
මොනවටද මන්දා මේ සූදානම? (නි)
යහපාලනයට වැඩි ආයුෂ නැත. එක තමයි ඇත්ත කතාව.(ම)
බලන්නකො මෙයාලගේ උජාරුව. ආසියාවේ හොඳම සුව සේවය මේ රටේ ඉන්න දොස්තරලා නර්ස්ලා සහ අනෙක් සුව සේවකයන් නිසා බව මතක තියාගත්තොත් හොඳයි (නි)
මම නම් ඔබතුමා කියන දේවල් වලට එකඟ වෙන්නේ නැහැ (නි)
අගමැතිතුමනි, ඔබට මාගේ සහය. (නි)
දෙවියන් මේ රට ගොඩගන්න ඔබතුමාට අවස්ථාවක් දීලා තියනවා. කල්පනාවෙන් වැඩකරන්න. ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා! (නි)
දේශපාලන නායකයෝ මෙලෙස හැසිරෙන්නේ, කතා කරන්නේ, තර්ජන කරන්නේ තමන්ගේ දීර්ඝ පාලන කාලයකින් පසු අවසානයේ පරාජය පෙනි පෙනීය. මේ පැහැදිලිවම තමනට පාලනය ගෙනයන්නට නොහැකිව කරන හැසිරීමක් බව දන්නෝ දනිති. (නි)
අගමැතිතුමා කියන කතාව හරි. (ර)
සමහර අයගේ අදහස් දැක්කම ලජ්ජා හිතෙනවා. (ර)
චන්දි ; ඔබගේ කතාව ඉහලින්ම අනුමත කරමි. (ර)
මොවුන් කඩේ යන පිරිසක් එ්ක සෞඛ්‍ය අමාත්‍යංශයේ අය දන්නවා මොවුන්ට කිසිම ඉඩක් දෙන්න එපා මිනිස්සුන්ගේ වකුගඩුත් විකුනපු අය (බ)