(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට ජලය  දුන් ජල පෙරණ යන්ත්‍ර නඩත්තු කළ නාවික හමුදා සෙබළුන් ඒවායෙන්  ඉවත් කරගෙන යෑම  හේතුවෙන්  එම යන්ත්‍ර අඩපණවී ගෙන යන හෙයින්  වහාම ඒ විනාශය  වැළැක්වීමට  මැදිහත්වී  කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)   පැවසීය.

එසේම එම යන්ත්‍රවල විදුලි බිල ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය නතර කිරීම හේතුවෙන්  ඒවාට විදුලිය සැපයීමද නතර කරගෙන යන බව  ඔහු සඳහන් කළේය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය.

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 2014 ඉඳලා අඩුවේ ගෙන  ඇවිල්ල තියෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුව ප්‍රති ආසෘත  ජල පෙරණ යන්ත්‍ර මගින් ජලය ලබාදීම. ඒ යන්ත්‍ර නඩත්තුව කරන්නේ නාවික හමුදාව. උතුරු මැද පළාතේ මේ යන්ත්‍ර පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම යන්ත්‍රයකින්ම ඒවා නඩත්තු කරපු නාවික හමුදා සෙබළුන් ඉවත් කරගෙන යනවා. මම මේ ගැන ආරක්ෂක ආරක්ෂක ලේකම්තුමාගේ අවධානයට යොමු කළා. නමුත් එතුමා ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් දැක්වුයේ නැහැ.

ලක්ෂ දහයකට වැඩි පිරිසක් මෙම යන්ත්‍ර වලින් ජලය බොනවා.  මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම අඩාලවී ගෙන යන්නේ. එහෙම වුණොත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒ ගැන මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ ජලය වෙනුවෙන් විදුලි බිල ගෙව්වෙ සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන්  විදුලි බිල් ගෙවීම නවත්වලා තියෙනවා. යන්ත්‍ර වලට විදුලිය සැපයීම ඒ නිසා නවත්වා ගෙන යනවා. ඔබතුමා  මේ අසරණ ජනතාවට පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය ලබා දෙන්න.