(අංජුල මහික වීරරත්න)

2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 වැනිදායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.

වී අලෙවි මණ්ඩලය විසින් යල් කන්නයේ වී මිල දී ගැනීම සදහා ගබඩා 39ක් විවෘතව තැබූ අතර නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගනු ලැබුයේ වී මිල රුපියල් 60ක් හා 70ක් වශයෙන් අඩුවෙමින් පැවැති තත්ත්වයදී බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වී අලෙවි මණ්ඩලය රුපියල් 95කට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීම නිසා පෞද්ගලික අංශය රුපියල් 110ක් දක්වා වී මිල ඉහළ නැංවූ බවත් එම තත්ත්වය යටතේ ගොවීන් තම වී අස්වැන්න පෞද්ගලික අංශයට අලෙවි කළ බවත් අමාත්‍යාංශය කියයි.

කෙසේ වුවද මෙවර යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 25ක් මිල දී ගෙන ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.