(නිමන්ති රණසිංහ)

“ලාබෙට බඩු” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් කොරියාවෙන් ආනයනය කරන ලද ගෘහ විද්‍යුත් උපකරණ සහ පරිගණක ඇතුලු ඩිජිටල් උපාංග අඩුමිලට ලබාදෙන බව පවසා අන්තර්ජාලයෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විසිතුන් හැවිරිදි තරුණයකු ලබන  03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අද (21) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල හබරාදූවේ පදිංචි උදාර චාමික නමැත්තාය.

මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තකු බවත් ඔහු සමග මෙම ඡාවාරම සිදුකිරීම සදහා තවත් මත්ද්‍රව්‍ය ලෝලීන් 12 දෙනකු පමණ සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව සැකකාර තරුණයා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැර කළ බව කියන ඔහුගේ විසි හැවිරිදි පෙම්වතිය ද අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

රාජ්‍ය සේවකයකු කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. කේ. සේනාරත්න මහතා විසිනි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙම්වතිය රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. මෙලෙස ඇප මත මුදා හැරුණේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අයේෂා සුබෝධනී නැමැත්තියය.