( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනා නොගත් ලාදුරු රෝගීන් ගැවසෙන තත්ත්වයක් පවතින බැවින් ඔවුන් හදුනාගනිමින් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මේ අනුව මෙම වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කළ ලාදුරු රෝගීන් 124 දෙනෙකු හදුනාගෙන ඇති බව, කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ නිලංගී සුභසේකර මහත්මිය සදහන් කළාය.

මෙම රෝගය බැක්ටීරියාවක් මාර්ගයෙන් කෙළ බිදිති මගින් බෝවන බැවින් රෝග තත්ත්වය සහිත අ‍ෙකු අසල වැඩි කාලයක් ගැවසීම මත බෝවීම සිදුවන බවත් සම අවපැහැ ගැනීම සහ ගැටිති ඇතිවීම මෙන්ම වේදනා නොමැති කැළල් ඇතිවීමෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවත් වෛද්‍යවරිය පෙන්වා දෙනු ලැබුවාය.

එක් ආසන්නයේ ගත කිරීම පාසල් සිසු දරුවන් අතර සිදු වන බැවින් ඉහත පෙන්නුම් කළ සමෙහි රෝග ලක්ෂණ මතුවුවහොත් මව් පියන් අවධානය යොමු කොට සමේ රෝග වෛද්‍යවරකු වෙත යොමු කළ යුතු බවද ඇය පෙන්වා දෙනු ලැබු අතර දිවයිනෙහි හදුනාගෙන ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 13 ක් පමණ පාසල් සිසු දරුවන් බව පෙනී ගොස් ඇති බවත් සදහන් කළාය.

මෙම රෝග තත්ත්වයට පාත්‍ර වූවන්ගෙන් කලක් ගොස් බෝවීමක් සිදුවිය හැකි බැවින් 2017 වර්යේදී ලාදුරු රෝගීන් ලෙස හදුනාගෙන ප්‍රතිකාර ලැබූවන්ගේ ළඟම ආශ්‍රිතයින්ගේ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීමට මේ දිනවල ජාතික වශයෙන් පියවර ගෙන ඇත.