(යොහාන් භාසුර)

අවිස්සාවේල්ල ඩිපෝවට අයත් බස් රථයක් වේයන්ගොඩ ප්‍රදේශයේදී ප්‍රවේශපත් නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කළ ජංගම පරීක්‍ෂක කණ්ඩායමකට එම බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගීන් පිරිසක් පහරදී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අවිස්සාවේල්ල සහ මීගමුව අතර ධාවනය කරන ආදාල බස් රථය ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පරීක්‍ෂකවරු වේයන්ගොඩ ප්‍රදේශයේදී නවතා කළ පරීක්‍ෂාවේදී මගීන් වැඩි පිරිසකට ප්‍රවේශපත් නිකුත් කර නොමැති බව හෙළිවූ බවත් එම අවස්ථාවේදී මගීන් වැඩි පිරිසක් පරීක්‍ෂාවට විරෝධය පළකර ඇති බවත් එම නිලධාරියා කීය.

එම විරෝධය හේතුවෙන් පරීක්‍ෂක කණ්ඩායම පරීක්‍ෂාව අතහැරදමා පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේදී කොන්දොස්තරවරයාගේ මෙහෙයවීමෙන් බස් රථයේ සිටි පිරිසක් පරීක්‍ෂකවරුන්ට පහරදී ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.