(සුමිත් පොතුපිටිය)

රුපියල් ලක්ෂ 50ක් වැය කර කළුතර ප්‍රාදේශීය සභාවට   මිළදී ගත් ජෙනරේටර් තුනක වයර් මීයන් කා දැමීම සහ බැටරි ආරෝපණය නොකිරීමෙන් විනාශවී ඇති බව එහි සේවකයෝ චෝදනා කරති.

වස්කඩුව ප්‍රධාන කාර්යාලයේ, වස්කඩුව සහ ඇටවිල ආදාහනාගාරයේ ස්ථාපනය කර ඇති විශාල ජෙනරේටර් මෙසේ විනාශවී  ඇති බව සදහන් වේ.

වස්කඩුව ප්‍රධාන කාර්යාලයේ ජෙනරේටරයේ වයර් මියන් කා දමා ඇති බවත්,ඇටවිල ආදාල කාර්යාලයේ  තාක්ෂණික දෝෂයක් සහ වස්කඩුව ආදාහනාගාරයේ බැටරිය ආරෝපණය නොවීම යන ගැටලු හේතුවෙන් මෙසේ විනාශ වෙමින් පවතින බව වාර්තාවේ.

වස්කඩුව ආදාහනාගාරයේ ජෙනරේටරය ක්‍රියාකර ඇත්තේ පැය 18 ක් පමණක් බවත් , අනෙක් ජෙනරේටර් ක්‍රියාත්මකවූ කාලය ලොකු වෙනසක් නොමැති බවත් එහි සේවකයෙක් කීය.

මිළදී ගැනීම සම්බන්දයෙන් පසුගිය සභා රැස්වීම්වලදී ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවූ බවත්, රට ආර්ථික අර්බුදයක පවතින වකවානුවක මෙසේ ජනතා මුදල් විනාශවීම වළක්වා ගැනීම බළධාරීන්ගේ වගකීමක් බවත් සභාවේ සුළු සේවකයෝ පවසති.

මේ පිළිබඳ අදහස් දැක්වූ කළුතර ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී ගීත් කල්යාන මහතා මෙසේ කීය. ජෙනරේටර් තුන මේ වනවිට ක්‍රියාකරන්නේ නෑ. වගකීම කාලය නිමාවුවත් අමතර කොටස් සභාවේ මුදලින් ලබාදී සේවාව සිදුකිරීමට ආයතන එකගවී තිබෙනවා.