(අංජුල මහික වීරරත්න)

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් සියලු රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම ජනාධිපතිගේ අරමුණ බවත් ඒ වෙනුවෙන් ඉදිරියේ දී නිල සංචාර කිහිපයක යෙදීමට සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.