(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය දීමට එක්සත් රාජධානියේ මෙරට වෙළෙඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා එකඟතාවය පළ කර තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ එකඟතාව පළවිය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි එක්සත් රාජධානියේ හැනට් සාමිවරයා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවිය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ද එම විශේෂ අවස්ථාවට එක්ව සිටියේය.

මෙරට ක්‍රියාක්මක නිදහස් සෞඛ්‍ය සේවාව නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක වන නව්‍ය වැඩපිළිවෙල , සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග , මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීන වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබදව මෙහිදී අවධානය යොමු විය.