ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ගැන සදහන් කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩිවියේ පළවූ පරිභවාත්මක ලිපියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා අප්‍රසාදය පළ කර සිටීමට කටයුතු කරන බව ඉන්දියා විදෙස් ඇමතිනී සුෂ්මා ස්වරාජ් කියයි.

පසුගියදා පැවැති ඉන්දියා රාජ්‍ය සභාවේදී මෙම ලිපිය මුල්කරගෙන කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය.තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ගේ ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ සාමාජිකයන් ලිපියේ ඇති කරුණු හුවා දක්වමින් කළහකාරී ලෙස හැසිරීම නිසා සභාව කිහිපවරක්ම කල් තැබීමටද සිදුවිය.

රාජ්‍ය සභාවේ කලබලකාරී තත්ත්වය තමිල්නාඩුව පුරාවටත් ව්‍යාප්තව තිබුණි.

දෙමළ සිනමා අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් රැසක් චෙන්නායි නුවර ශී්‍රලංකා තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්ද පැවැත්වූහ. ඉදිරියට පැමිණීමට නියමිත දෙමළ චිත්‍රපට කිහිපයක රූගත කිරීමේ කටයුතුද මෙම ලිපිය පළවීම සම්බන්ධයෙන් ඉන්දියා රජය නිසි පියවර ගන්නා තෙක් නවතා ඇති බවද සදහන්ය.

තමිල්නාඩුවේ ඇතිව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය නිසා ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට චෙන්නායි බලා ගිය ශ්‍රී ලංකා 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියා ආරක්ෂක අංශ වල උපදෙස් අනුව  නැවත ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් සමාව ඉල්ලා ඇත.

අදාළ ලිපියද ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.