(අංජුල මහික වීරරත්න)

ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටින බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ලංකාව පුනර්ජනනීය බලශක්ති විභවයන් බහුල රටක් වන බැවින් මෙම පියවරට පහසුවෙන් ලඟා විය හැකි බවද විජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකාව ද අඩු කාබන් විමෝචනය කරන රටක් බවත්, සාමාන්‍යයෙන් වසරකට ඒක පුද්ගල කාබන්  විමෝචනය ටොන් 1.02ක් පමණ වන බවත් විජයවර්ධන මහතා  වැඩිදුරටත් සඳහන් කළේය. 

පැරිස් ගිවිසුමේ පාර්ශවකරුවකු ලෙස 2030 වන විට හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව ද කැපවී සිටින බවද  ඊට අනුරූපව, 2030 වන විට  විදුලි අවශ්‍යතාවයෙන් 70% ක පුනර්ජනනීය බලශක්තියෙන්  ලබා ගැනීමට ලංකාව කැපවී සිටින බවද විජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකා පිරිසිදු බලශක්ති සමුළුව අමතමින් විජයවර්ධන මහතා මෙි බව සඳහන් කළේය. කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මෙය පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල්හයිම් මහතා,  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි,මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්වරු ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.