IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ලාංකේය කැසට් කලාවේ නිර්මාතෘ සමුගනී

2016-10-31-ent-23

හැත්තෑවේ දශකය අග භාගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සෑම සතියකම සෙනසුරාදා රාත්‍රී 9.15ට මුදල් ගෙවා ප්‍රචාරය වූ %තරංගා රංග තරංග^ වැඩසටහනේඅලුත් ගී ඇසීමට මුළු රටක් රොදබැඳ සිටියහ.

 

"රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්

ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්"

 

2016-10-31-ent-22(පද කුලරත්න ආරියවංශ/සංගීතය එච්.එම්.ජයවර්ධන/ගායනය ටී.එම්.ජයරත්න) ගීතය ශ්‍රාවකයා මුලින්ම ශ්‍රවණය කළේ එම වැඩසටහනෙනි. එම වැඩසටහනේදී ඇසුණු ටී.එම්.ගැයූ "එකසිත දෙතැනක නතර වෙලා" සහ "හිරුට හොරෙන් සඳුට හොරෙන්" (ගීත දෙකේම පද කුලරත්න ආරියවංශ/ සංගීතය රෝහණ වීරසිංහ) රසික ජන මනස කැළඹීමේ ආරම්භයද එම වැඩසටහනයි.

එම ගීත ත්‍රිත්වය ඇතුළු අද ඔබ අසන අතිශයින්ම ජනප්‍රිය ගීත සමුච්ඡයක පසුබිමේ සිටි නිෂ්පාදක "තරංගා" අධිපති, චිත්‍රපට නිෂ්පාදක විජය රාමනායක මහතා පසුගිය බදාදා අලුයම තම දිවිගමන නිමා කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ එකකි.

මාතර උපන් භූමිය වූ විජය රාමනායක මහතා අධ්‍යාපනය ලද්දේ මාතර රාහුල විදුහලෙනි. උසස් අධ්‍යාපනය නිමකොට 1967 වසරේ කොළඹ ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතේ සේවයට පැමිණි විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි. එවකට ජනතා පුවත්පතේ කතුකම කළ ඩී.එෆ්. කාරියකරවන මහතා රූමත් යුවතියන් කලා ලොවට හඳුන්වාදීමට ලස්සන මුහුණු තරගයක් සම්පාදනය කරමින් සිටියේය. රට වටා සුරූපී යුවතියන් තැපැල් මගින් එවූ ඡායාරූප තෝරා පුවත්පතේ පළ කිරීමේ බාරදූර වගකීම පැවරුණේ එවකට ගැටවර වියේ පසුවූ විජය රාමනායකටයන්ටයි. සුමනා අමරසිංහ සහ අනෝමා වත්තලදෙණිය එම ජනතා ලස්සන මුහුණු තරගයෙන් අවධානය ලබා සිනමා නිළි වරම් ලැබගත් දෙදෙනෙකි. පසුව ලේක්හවුස් ආයතනයේ දැන්වීම් නියෝජිතයෙකු වූ ඔහු ඒ හරහා හඳුනාගත් ප්‍රකට ව්‍යාපාරිකයන් හා රට පිළිගත් පුද්ගලයන් පිළිබඳව පිරුණු ලොවින් නමින් ලිපි පෙළක්ද සිළුමිණ පුවත්පතට සම්පාදනය කළේය. මැලිබන්, නවලෝක, මීමැඩුම, ඕදිරිස්, මදනායක ව්‍යාපාර නිර්මාතෘන් මෙන්ම සයිමන් මරවනාගොඩ, මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි චරිත රැසක්ද ඒ අතර විය. එම ලිපි පෙළ පසුව පොතක් වශයෙන්ද පළවිය.

දැඩි චිත්ත ධෛර්යයෙන් තම ලේඛන දිවියත්, දැන්වීම් නියෝජිත තනතුරත් කළ විජය රාමනායක මහතා එකල ඉහළම ආදායම ලද දැන්වීම් නියෝජිතයා බවටද පත්විය.

කොතරම් අතට මුදල් ලැබුණද මිතුරන් සමග ඇසුර ඉතා ප්‍රියකළ ඔහු ඉතා සංග්‍රහශීලී හිත හොඳ පුද්ගලයෙක් විය. නිහතමානී විය. මුදල් අතේ යහමින් ගැවසෙන විට මුදල් ආයෝජනය කිරීමේ අලුත් ව්‍යාපාර කෙරේ ඔහුගේ සිත නැඹුරු විය.

කලා රසාස්වාදය මැනවින් හඳුනාගෙන සිටි ඔහු ගීත තැටි නිෂ්පාදනයකොට බෙදාහැරීමේ සමාගමක් "තරංගා රෙකෝඩ්බාර්" නමින් රීගල් සිනමාහල අසල කුටියක ඇරඹුවේ මේ අතරයි. ඒ තුළින් බිහිවූ මාණික්‍ය බදු අගනා ගීත පොකුරේ චූඩාමාණික්‍යය වූයේ පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බැහැරව කරන ලද ප්‍රථම පෞද්ගලික ගීත පටිගත කිරීමයි. එම එකතුව ගීත 12ක් ලෙස වෙළෙඳපොළට පැමිණියේ විජය රාමනායකයන්ගේ "තරංගා" ලේබලයේ දීර්ඝ තැටියක් ලෙසයි. පණ්ඩිත් අමරදේවයන් ගැයූ මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කළ "කබායඉරිලා ඊට කමක් නෑ" (පද කේ.ඩී.කේ.ධර්මවර්ධන), "මේ ගුරු පාරේ" (පද මහාචාර්ය සුනිල් ආරියරත්න), "කඳුළු කතාවේ නිමක් දුටුවදා" (පද බුද්ධදාස ගලප්පත්ති) මෙන්ම නැසීගිය සංගීතවේදී සරත් දසනායකයන් සංගීතවත් කළ, ආචාර්ය අජන්තා රණසිංහ පදරචනය කළ "රෑදුරු රටමේ" සහ "බොල්වී අහුරු" ගීතද ඇතුළත් වූයේ මෙම තැටියේය. මෙසේ ගීත තැටි වෙළෙඳාම ජයටම කරගෙන යන අවධියක 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපති පදවියට පත්වීමත් සමගම අප රටේ ආර්ථිකය විවෘතභාවයට පත්විය. ඉන් ලද අවසරයෙන් මැදපෙරදිගට අප රටේ ශ්‍රම බළකාය ඇදෙන්නට පටන් ගත්හ. හැත්තෑවේ දශකයේ අග භාගයේ එක්තරා දිනෙක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිටි මොහොතක විජය රාමනායකයන්ට මැද පෙරදිග සේවයකොට ලංකාවට සැපැත්වූ අපේ ශ්‍රම බළකාය අත අලුත් රේඩියෝවක් දකින්නට ලැබුණි.

එය එකල හැඳින්වූයේ %ටූ ඉන් වන්^ නමිනි. රේඩියෝවට අමතරව එහි කැසට්පට වාදනයකොට ගීත ශ්‍රවණය කිරීමේ පහසුකම්ද විය. මේවාට අවැසි කැසට්පට නිෂ්පාදනය කළ හැකි නම් එය අලුත් ගීත අලෙවිකරණ සාධකයන් බව වටහා ගත් රාමනායක මහතා ලංකාවේ පටිගත කරන ලද ගීත සිංගප්පුරුවට රැගෙන ගොස් කැසට්පට ලෙස සකසා ලංකාවට රැගෙන විත් ශ්‍රාවකයාට හඳුන්වාදීමට උත්සාහ ගත්තේය.

එහි පළමු පටිගත කිරීමට ඔහු තෝරාගත්තේ නැසී ගිය ගායක මිල්ටන් මල්ලවාරච්චිය. මෙම කැසට්පටය නිමවා රට වටා සිටි තැටි අලෙවිකරුවන් වෙත රැගෙන ගිය විට ඔවුන් එය අලෙවි කිරීමට මැලිවූයේ අලුත් දෙයක්වූ එය ජන ආකර්ෂණයක් නොලබනු ඇතැයි සිතාය. අනතුරුව විජය රාමනායකයන්ට සිදුවූයේ රැගෙන ගිය කැසට්පට ඉන්ධන පිරවුම්හල්, පොත් සාප්පු, රෙදි සාප්පු වැනි තැන්වල අලෙවියට තබා තම නිවසට පැමිණිමටයි. දින ගණනක චාරිකාවෙන් පසු තම නිවසට පැමිණෙන විට කැසට් දමා පැමිණි තැන්වලින් අලෙවියට තවත් කැසට් ඉල්ලා දුරකථන ඇමතුම් පැමිණියේ එය ජනතා අවධානයට ලක්වෙමින් තිබූ බැවිනි.

කැසට් කඩ අලෙවිහල් රටපුරා බිහි වූයේ රෙකෝඩ් බාර් සංස්කෘතිය අප රටට හඳුන්වා දෙමිනි. අනතුරුව ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රියා සූරියසේන, වර්ණන් පෙරේරා, නිහාල් නෙල්සන්, ඩෙස්මන්ඩ් සිල්වා පමණක් නොව එවකට ජන අවධානයට හසු නොවූ මොහිදීන් බෙග්ගේ ගීත සමගද ඔහු වෙළෙඳපොළට කැසට්පට නිකුත් කළේය. මොහිදීන් බෙග්ගේ ගීත කැසට්පට හතරකම් එළිදැක්වීමට ඔහු පෙළඹ වූයේ ඒ සඳහා ලද වාර්තාගත අලෙවි ආදායමයි.

යම් දෙයක ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ඔහු ලාංකේය කැසට් කලාවේ නිර්මාතෘ බව අවිවාදිතය. තරංගා ගීත පටිගත කිරීම් සඳහා එවකට කොළඹ තිබූ පටිගත කිරීමේ ශබ්දාගාරපහම එකවිට වෙන් විය. අනතුරුව ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වීමට අඩිතාලම දැමුවේය. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ, මාලිනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රධාන චරිත මැවූ "ආරාධනා" ඔහුගේ ප්‍රථම සිනමා නිෂ්පාදනයයි. ඒ තුළින් ඔහුගේ කැසට්පට ගීත සංගීතවත් කළ අලුත් සංගීත අධ්‍යක්ෂවරුන් දෙපළක් සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස සිනමාවට හඳුන්වා දුන්නේය. ඒ ආචාර්ය රෝහණ වීරසිංහ සහ එච්.එම්.ජයවර්ධනයි.

රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, කුලරත්න ආරියවංශ ලියූ, පණ්ඩිත් අමරදේවයන් ගැයූ "ආරාධනා" ගීතය ඇතුළත් වන්නේ එම චිත්‍රපටයේය. කුලරත්න රෝහණ සුසංයෝගයෙන් බිහිවූ මිල්ටන් මල්ලවාරච්චි සහ මාලිනී බුලත්සිංහ ගැයූ "සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ" ගීතයද ඇසුණේ ආරාධනා චිත්‍රපටයෙනි.

අනතුරුව ඩී.බී.නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ "රිදී නිම්නය" සහ "මල්දෙණියේ සිමියොන්" මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීස්ගේ "කලියුගය" සහ "යුගාන්තය" චිත්‍රපටවල නිෂ්පාදක බවටද ඔහු පත්විය. නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේදී "මල්දෙණියේ සිමියොන්" රඟපෑ අනෝජා වීරසිංහට හොඳම නිළි සම්මානය හිමි විය. අවශේෂ චිත්‍රපටවලටද දේශීයව පැවති සම්මාන උලෙළවලදී ඇගයීම් නොඅඩුව ලැබුණි.

කැසට් කලාව ලංකාවට හඳුන්වාදී දැවැන්ත ආර්ථික උල්පතක් බිහිකළ විජය රාමනායකයන් නිසා ධනවතුන් වූ පිරිස බොහොමයකි. තමාගේ හිතවතුන් වූ ඇතැමෙකු අන්ත අසරණව මහමගට වැටුණු විට ඔහු ඔවුන්ව තම නිවසට කැඳවාගෙන ගොස් පිළිසරණක් විය. එම පිළිසරණ කොතරම් ප්‍රබලද යත් මහමගට වැටුණු හිතමිතුරන් නැවත ධනවතුන් වී සමාජයේ වැජඹෙන තත්ත්වයට පත්කිරීමේ චිත්ත ධෛර්යයද ඔහු ජනනය කළේය. විජය රාමනායකයන්ගේ අතදීමෙන් කලා ලොව වැජඹෙන ඇතැමෙකු පෙරළා ඔහුට කෘතගුණ සැලකුවාද යන්න දැනෙන ප්‍රශ්නයකි. අද එෆ්.එම් නාළිකාවල හා අන්තර්ජාලයේ ඇසෙන ජනප්‍රසාදිත ගීතවල නිෂ්පාදක මෙන්ම ඇතැම් ඒවායේ පදරචකයා බවද දැනගන්නා මතු ලෝකයා ඔහු තවත් භවයක තමන් අතරම ඉපදෙන්නට පතනවා නියතය.

 

පද්මකුමා පී.මෙත්තසේන

 

2016-10-31-ent-24



අදහස් (0)

ලාංකේය කැසට් කලාවේ නිර්මාතෘ සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site