(අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීමට එරෙහිව සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇත.

ගණනය කළ නොහැකි හානියක් මෙයින් සිදුව ඇතත් යම් සීමාවකින් අදාළ වන්දි මුදල තීන්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉකුත් දා උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉකුත් සතියේ නීතිපති සංජය රාජරත්නම් මහතා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර වන්දි අය කර ගැනීමට අදාළව වාර්තාවක් යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉහත උපදෙස් අධිකරණ අමාත්‍යවරයා වෙත මෙම උපදෙස් ලබාදී ඇත.

සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අධිකරණ ඇමතිවරයා වෙත උපදෙස් දුන්නේය. ඒ අනුව හැකි ඉක්මනින් කැබිනට් පත්‍රිකාව යොමු කොට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ය.