(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යාංශය කරන සියළු ඉල්ලීම් වලට නිබඳව  සහය දෙන බව  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජි රාඕ පාණ්ඩව් මහතා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයා මේ බව කීය.

 දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල, නුවරඑලිය මහ රෝහල සහ මහියංගනය මූලික රෝහලේ  සෞඛ්‍ය සේවාවන් අදියරෙන් අදියර යථාවත් කිරීම පිළිබදවත්, ඊට අවශ්‍යවන සහයෝගය ලබා ගැනීමත්  අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත්විණි.

හලාවත සහ නුවරඑලිය මහ රෝහල් දෙක මෙන්ම මහියංගනය මූලික රෝහල ජල ගැලීම සහ නාය යාම යන හේතුවලින් දැඩි හානියට පත්වූ බවත්, එම රෝහල්වල වෛද්‍ය උපකරණවලට ද ඒ හේතුවෙන් හානි වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරයා හමුවේ පැවසීය.

 එම රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි දැඩි අපිරිමිත කැපවීමෙන් මේ වන විට අදියරෙන් අදියර එම රෝහල්වල ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහි දී සදහන්කර සිටියේය.