(අංජුල මහික වීරරත්න)

ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බැවින් විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙස්, විදෙස් ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2026 - ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සඳහා එක් වෙමිනි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව “වෙනස් වන ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය” යන තේමාව යටතේ පැවැත්වේ. සමුළුව අදින් (13) අවසන් වේ. 

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අපනයන පුළුල් කිරීම සහ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ ආයෝජන විභවය ජාත්‍යන්තරයට හඳුන්වා දීම සහ රටේ දිගුකාලීනආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණකි.