(රෝෂන් තුෂාර)

අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත  විදෙස් ජාතික සැකකරුවන්  120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ  බැංකු ගිණුම්වල මුදල් හැක්කර ඇති බවට කරුණු අනාවරණය වන බව  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය (15) පැවසීය.

සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් පරිගණක 3ක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය ට යොමු කර සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම කරුණු අනාවරණය වී ඇති බවත්, අත්අඩංගුවට ගත් තවත් පරිගණක 151ක්, ලැප්ටොප් පරිගණක 51 ස්මාර්ට් ජංගම දුරකථන 266 ක් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පැවසීය. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගත් සැකකාර විදේශ ජාතිකයින් අතර වීසා නොමැතිව රැඳී සිටි සැකකරුවන් 28 දෙනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආගමන විගමන පාලකවරයාට සහ ඔහුගේ නියෝජිතයෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි  නිකුත් කළේය.

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක දැඩි රැකවල් මැද්දේ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී සිටියදී   රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමින් යුත්  මුදල් හා   පරිගණකය ඇතුළු භාණ්ඩ තොගයක් සමග පසුගිය 2 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ විදේශීය ජාතික සැකකරුවන් 120 දෙනාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නොතීසි නිකුත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය වැනි රටවල පුරවැසියන් ලෙස හඳුනාගෙන ඇති සැකකාර   විදේශීය ජාතිකයන්  සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.