IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රැවන් වලා විමානේ සැඟවුණු අජන්තා

2016-03-07-ent-80-new

 

වචනයේ දුර ගෙවා යා හැක්කේ යම්තාම් දුරක්ද? සංගීතය ආරම්භ වන්නේ එතැනිනි. සිතෙහි ඇතිවන දහසකුත් හැඟීම් වචනයෙන් කියාගත නොහැකි වූ විට ඒවා පිටවන්නේ මාධූර්ය පදවැලක ස්වරූපයෙනි. එවන් සුවිශේෂී වූ සෞන්දර්යාත්මක මාධ්‍ය කලාවක් වූ ගීත රචනයෙහි නියැලෙමින් සුවහසක් වූ ශ්‍රාවකයන්ගේ සිත් සතන් පුබුදුවාලන්නට සමත් වූ ශ්‍රී ලාංකික ගී පද නිර්මාණ ශිල්පීන් අතුරින් සුවිශේෂීම චරිතයක් වූ ආචාර්ය අජන්තා රණසිංහ පසුගියදා අප අතරින් සමුගත්තේ ලාංකික ගීත නිර්මාණ ක්ෂේත්‍රෙයහි විශාල හිදැසක් ඇති කරමිනි. අද අප ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ හා කතා කරන්නේ, නොඑන ගමන් ගිය මේ සොඳුරු සෞන්දර්යවේදියාව කුලරත්න ආරියවංශගේ ඇසට පෙනුණු අයුරු පිළිබඳවය.

 

2016-03-07-ent-81

 

2016-03-07-ent-82

ඇත්තෙන්ම මම අජන්තා රණසිංහ හඳුනාගත්තේ ඉතාම පුංචිකාලෙ. ඒ වෙද්දි මට අවුරුදු දහයක් විතර ඇති. නමින් දන්නෙ නැති වුණත් ඔහු රචනා කරපු ගීතයක් පොඩි කාලෙ මට කටපාඩම් වෙලා තිබුණා. සුරතල් පොඩි හාවා මුලු රූමත් පුන්සඳ තුරුලෙයි ඉන්නේ තමයි ඒ ගීතය. මේ ගීතය ලිව්වෙ කවුද කියන්නෙ කවුද කියලා මම දැනගත්තේ ගීත ගැන දැනුම් තේරුම් වයසට ආවෙට පසුවයි.

අපේ ගැටවර වයසෙදි අපි ගොඩක් වෙලාවට අහන්න පුරුදුවෙලා හිටියෙ සේකර මහත්තයලගෙ, මඩවල අයියලාගේ ගීත. ඒ වගෙ තිබුණෙ බොහොම සම්භාව්‍ය වෙනම ගීත රටාවක්. මේවත් එක්ක අජන්තා රණසිංහයන්ගේ ගීත අපිට දැනුණේ වෙනම විදිහකට. මේ 70 දශකයේ පටන් ගැන්මනෙ. ප්‍රේමණීය ගීත, විරහ ගීත බොහොම සුන්දර සරල රචනා ශෛලීන් තරුණ සිත්වලට කා වැදුණා. ඒ ගීතවලට හිත ඇදිලා ගිය නිසා තමයි මම එතුමාව හම්බවෙන්න ගියේ. ඒ ඔහුගේ දුරස්වන්නට මේ ලෙසින් ගීතය ගැන ලිපියක් ලියන්න. මෙතනදි තමයි මට මුලින්ම මේ අසහාය පුද්ගලයාව හඳුනාගන්නට ලැබුණේ.

 

අජන්තා රණසිංහ කියන්නේ ගීත රචකයෙක් හැටියට පුදුමාකාර භාෂා සංවේදීතාවයක් වගේම භාෂා හැසිරීම පිළිබඳව චාතූර්යක් තිබූ පුද්ගලයෙක්. ඔහුගේ ගීත නිර්මාණ සඳහා අපේ ගැමි බස මනරම් අයුරින් යොදාගත්තා. අවශ්‍ය වෙලාවට නාගරික ජනවහර ද, අපේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල එන භාෂා ශෛලීන්ද භාවිත කළා. උසස් පරිචයක් ඇති නිර්මාණ ශිල්පියකු වූ එතුමා සිංහල සංස්කෘතිය, දේශීයත්වය, අතීත උරැමය, බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය යන සියල්ලක් ගැනම තමා තුළ තිබූ දැනුම් සම්භාරය තම නිර්මාණ තුළින් එළිදැක්වූවා.

සඳකඩ පහනේ රෑසිරි වරුණේ, උත්තම මුණි දළදා වඩම්මන, සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩහිඳ, නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් වගේ භක්ති රසයයි, අපේ සංස්කෘතියයි සියල්ලම කැටිකරපු පුදුමාකාර විදිහේ නිර්මාණ තොගයක් එතුමා බිහිකරලා තියෙනවා. ඒවා සදාතනිකව මේ රටේ පවතින ගීත කියලා අපි කියන්නේ ඒකයි.

ඊළඟට ඔහුට තිබුණේ නිරායාසයෙන් ගලා එන රචනා ශෛලියක්. ඔහුගේ කිසිම ගීතයක ආයාසයෙන් වචන ඔබ්බපු ගතියක් දැනෙන්නේ නෑ. ඔහුට බොහොම සරල, සුගම වඩාත් අලංකාරවත් නැවුම් වචන මාලාවක් තිබුණා. ඔහුගේ ගීත එකිනෙකාට වෙනස්. ගීතයේ අත්දැකීමටයි, ගීතයේ පරිසරයටයි ගැළපෙන ආකාරයේ වචන හැසිරවීමේ ආශ්චර්යටත් දක්ෂතාවයක් ඔහුට තිබුණා. ඒකම තමයි ඔහුගේ ගීත ජනප්‍රිය වන්නට හේතුව වුණේ. ඇත්තටම ඔහුගේ කිසිම ගීතයක් අහක දාන්න බෑ. වාණිජ චිත්‍රපටයකට හෝ කැසට් පටයකට හෝ ගීතයක් ලිව්වත් ඔහුගේ අනන්‍යතාවය එම ගීත තුළ තිබුණා.

ගීතය නිර්මාණය වන්නේ ප්‍රවීණයෙකුටද, ආධුනිකයෙකුටද, සම්භාව්‍ය කෘතියකටද නැත්නම් වාණිජ කෘතියකටද යන්න ඔහු බැලුවේ නෑ. ඔහු අවධානය යොමුකළේ නිර්මාණයේ කලාත්මක ගුණපූර්ණ භාවය ගැන පමණයි. හින්දි ගීතයක තනුවකට වුණත් වචන ලියද්දි ගීතය තුළ තමන්ගේ අනන්‍යතාවය රුකගන්න ඔහුට හැකි වුණා. නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ, රුවන් වලා විමානේ වැනි ගීතවල වචන ගත්තම එම වචනවල අපූර්වත්වයත්, නැවුම් බවත් මගින් හැමවිටම ඔහුගේ නිර්මාණශීලී බව ඉස්මතු වුණා.

මම හිතන විදිහට අපේ ගීත රචකයන්ගෙන් විශාල පරාසයක ගීත රචනා කළ ගීත රචකයා තමයි අජන්තා රණසිංහ, ඔහුගේ ගීත ග්‍රන්ථ වශයෙන්ම 5ක් පිට වෙලා තියෙනවා. ඒවා විමර්ශනය කරලා බලද්දි තේරෙන දෙයක් තමයි කැලැරන්ස් විජේවර්ධන, රූකාන්ත ගුණතිලක වැනි ගායකයන් හට රචනා කළ ගීත වෙනස් රසයක් ඇතිව රසිකයින් ඇද බැඳ ගැනීමට සමත් වූ ඒවා බව. තනුවකට අනුව ලියවුණු නිරෝෂා විරාජිනි ගයන රෑදොලොස් පැයේ ගීතයත් එතුමාගේ සුවිශේෂී නිර්මාණයක්. ඇත්තටම හිතාගන්න බෑ හදපු තනුවකට කොහොමද ඒ වගේ පදමාලාවක්, ඒවගේ අත්දැකීමක්, ඒ අත්දැකීමට ගැළපෙන ලෙස වචන යොදා ගත්තේ කියලා.

මෙතුමාගේ නිර්මාණ අපි මුලින්ම රසවිඳින්නේ අපේ තරුණ කාලෙදි. ඒ කාලෙ මම ගොඩක්ම ආස කරපු ගීත තමයි රැ පැල් රකිනා කුරහන් පැහෙනා හේනේ, ආදර සැමරුම් කැටිවූ, කල්පනා ලොව මල්වනේ, විකසිත පෙම් පොකුරු පියුම්, කිරිකවඩි සිනා නොදැක බැඳුනු ආදරේ, මේ මැයි ගහ යට වගේ ගීත. ඊට අමතරව මල්ලියකම් බැඳී පෙම් සිතුවම් රුඳි, රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ වැනි ගීතවලටත් මම ගොඩක් කැමතියි. රන්කෙන්දෙන් ගීතය මුළු චිත්‍රපටයේම තේමාව වචනවලට ගොනු කරපු ගීතයක්.

මෙතුමාගේ ගීත හැම එකකම වාගේ කැපීපෙනුන ලක්ෂණයක් තමයි මානව දයාව වැනි ගුණාංග අන්තර්ගත වීම. නිර්මාණවල වියෝගය තැන්නම් විරහව තිබුණත් ඒවා බොහොම උපේක්ෂාවෙන් දරාගන්නා ආකාරයක්නේ තියෙන්නේ.

"නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටුකුමරියක් කරකාරෙට බඳින්නයි."

"ඔබට විරහා ගිනි නෙගෙනේවා" වැනි යෙදුම් වලින් ඒ බව පැහැදිලි වෙනවා. පරිත්‍යාගය, දයාව, උපේක්ෂාව, කරුණාව, හිත හැම තිස්සෙම මෘදු පැත්තට හරවන ප්‍රාර්ථනා තමයි ඒ ගීතවල තිබුණේ. මම හිතන්නේ අජන්තාගේ ගීත පුරාම ඒ දේ තියෙනවා.

තවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ දෙයක් තමයි ඔහු සතුව පැවැති මානුෂික ගුණාංග. අපි නියෝජනය කළේ ඔහුට පස්සේ පරම්පරාව. මුලින්ම ඔහුගෙ රසිකයෙක්වෙලා ඉඳලා ඔහුව අඳුරගෙන මම ගීත ලියන්නට පටන්ගත්තට පස්සෙ මුල ඉඳලම මගේ ගීතවලට ඔහු කැමත්තක් දැක්වූවා. ගීත අගය කළා. මාත් එක්ක සුහද වුණා. අපට වඩා වයසින් වැඩි වුණත්, පරිණත ගීත රචකයෙක් වුණත් බොහොම හිතවත්ව, බොහොම නිහතමානිව ආශ්‍රය කරන්නට ලැබුණ ප්‍රසන්න පුද්ගලයෙක්. ඔහු ඉන්න තැනක කිසිම පාළුවක් නෑ.

නවක ගීත රචකයෙක් හැටියට ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වගේ කාලයක් වෙනකොට පණ්ඩිත් අමරදේවට ගයන්න ගීත දෙකක් මට ලියන්නට ලැබෙනවා කියන පිණිවිඩය මට ලැබුණේ අජන්තා රණසිංහගෙන්. ඒක මට හරිම වැදගත් දෙයක්. මට තවමත් මතකයි ඔහු ඔහුගේ ස්කූටරේ මාවත් තියාගෙන මේ ගීත දෙකත් අරගෙන කේමදාස මාස්ටර් ළඟට ගියහැටි. ඔහු ජීවිතය පුදුම විදිහට වින්ද කෙනෙක්. ඔහු හමුවන හැම මොහොතකම කතාකරලා යන්නේ. කවදාවත් දැක්ක නොදැක්ක ගානට මඟ ඇරලා යන කෙනෙක් නෙමෙයි. ඔහුගේ පවුලේ උදවියත් අපිට ගොඩක් සමීපයි. ඇත්තටම ඔහු මගේ ජීවිතයේ ඉතාමත්ම ප්‍රියකරන ගොඩක් සමීප පුද්ගලයෙක්.

ඔහුගේ සමුගැනීම ශ්‍රී ලංකික ගීත ක්‍ෂේත්‍රයේ දැඩි හිඩැසක් ඇති කළා. වර්තමානයේ ගීත ක්‍ෂේත්‍රය ගැන කලකිරී ප්‍රවීණ ගීත රචකයින් ගීත ලිවීම අවම කර සිටි මොහොතක පවා ඔහු නොසැලී තම නිර්මාණකරණයේ යෙදී සිටියා. ගීත රචකයින් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටියා. නොබියව කතාකළා. ඇත්තෙන්ම ගීත නිර්මාණ ක්‍ෂේත්‍රයේ දැවැන්ත සෙවණැල්ලව හිඳිමින් නිරතුරුවම අපිට ශක්තිමත් වෙමින් නායකත්වය සපයමින් ඔහු සිදුකළ කාර්ය භාර්ය අතිවිශාලයි. ඔහුගේ අඩුව කාටවත් පුරවන්න බෑ. නමුත් ඔහුගේ නිර්මාණ සදා අමරණීයයි. මේ රට පවතිනතාක්කල් එම ගීත රසිකයින්ගේ මතකයෙන් ඈත්ව නොයාවි.

ආචාර්ය අජන්තා රණසිංහයෙනි ඔබට සුබ රාත්‍රියක්!

 

කුමී 

hadarasa

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

රැවන් වලා විමානේ සැඟවුණු අජන්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site