(මුදිතා දයානන්ද)

රූපවාහිනී සංස්ථාව 2021 වසරේදී විසි දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂයක් පාඩු ලබා ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

සංස්ථාව පසුගිය වසර පහක් තිස්සේ අඛන්ඩව පාඩු ලබමින් පවත්වාගෙන ගොස් ඇති බවද 2018 වසරේදී පමණක් රාජ්‍ය ප්‍රදාන හේතුවෙන් ලාභ ලබා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව වසර අවසානයේ ණය ගැතියන් ගෙන් අය විය යුතු මුදල රුපියල් කෝටි 38කට ආසන්න වන අතර එයින් දාහත් කෝටි පනස් ලක්ෂයක්ම රාජ්‍ය ආයතනවලින් අය විය යුතු ණයවේ.

රාජ්‍ය ආයතනවලින් අය විය යුතු බව කියන ණය මුදලින් කෝටි නවයක හා පෞද්ගලික ආයතන වලින් ලැබිය යුතු බව කියන එක් කෝටි දස ලක්ෂයක ණය ශේෂ සනාථ කිරීමට සාක්ෂි නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම සමස්ත ණය මුදලින් වසර හතර ඉක්මවු ණය ප්‍රමාණය කෝටි දොළහකට ආසන්න බවද එයින් නැවත අය කර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන තිබෙන්නේ කෝටි හතරකට ආසන්න මුදලක් සඳහා පමණක් බවද එහි දැක්වේ.

ඒම ණය මුදල් අතර පවතින ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ගෙවිය යුතු කෝටියක මුදල ගෙවීමට නොහැකි බවද එය විධිමත් ගිවිසුමකට එළැඹීමකින් තොරව සිදුකළ කාර්යයක් බවද එම බැංකුවෙන් දැනම් දී ඇතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.