(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකාවේ  රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය (DTTB – Digitalization of Terrestrial Television Broadcasting Project) පිළිබඳ මාධ්‍ය ආයතන හිමිකරුවන්, ප්‍රධානීන් ඇතුළු පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ  වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.

 දශක හතරකට අධික කාලයක් පුරා මෙරට රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ  භාවිත වන ඇනලොග්  රූපවාහිනී විකාශන පද්ධතිය එක් පොදු ඩිජිටල්  විකාශන වේදිකාවක් වෙත සංක්‍රමණය කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙහිදී  රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන ප්‍රගතිය, ඉදිරි ක්‍රියාමාර්ග සහ එම ව්‍යාපෘතිය මඟින් මෙරට රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය වෙත ඇති කිරීමට අපේක්ෂිත තාක්ෂණික හා මෙහෙයුම්මය පරිවර්තනය පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කෙරිණි.

ජපාන රජයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) සහාය ඇතිව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ ISDB-T ඩිජිටල්  රූපවාහිනී විකාශන ප්‍රමිතිය මෙරටට හඳුන්වාදීමට නියමිත අතර, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් උසස් තත්ත්වයේ (HD) රූපවාහිනී සේවා සැපයීම, විකාශන සංඥා ආවරණය වැඩිදියුණු කිරීම සහ ගුවන්විදුලි සංඛ්‍යාත වර්ණාවලියේ වඩාත් කාර්යක්ෂම භාවිතය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවන් වේ.

මෙම ඩිජිටල් පරිවර්තනය හරහා රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙත ඉහළ ගුණාත්මක රූප හා ශබ්ද, වැඩිදියුණු කළ සංඥා ආවරණය සහ වඩාත් උසස් රූපවාහිනී නැරඹුම් අත්දැකීමක් හිමිවනු ඇත. එමෙන්ම, සියලුම  රූපවාහිනී විකාශකයන් සඳහා පොදු ඩිජිටල් විකාශන වේදිකාවක් ස්ථාපිත වීම හේතුවෙන් එක් එක් විකාශකයා විසින් වෙන වෙනම  විකාශන යටිතල පහසුකම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවම කිරීමටත්, විකාශන ආවරණය පුළුල් කිරීමටත්, අගය එකතු කළ නව ඩිජිටල් සේවා සඳහා අවස්ථා පුළුල් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.