(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ ඉදිරි කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව (PPP) යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(17) පැවසීය.

ප්‍රතිව්‍යුහගතකරණයේදී දැඩි විනිවිධභාවයකින් කටයුතු කිරීමට රජය සූදානම් බවද ඔහු සඳහන් කළේය.

වැඩබලන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සියලු පාර්ශ්වල යෝජනා සලකා බලමින් වඩාත් ප්‍රායෝගික ක්‍රියාවලියකට යාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේ විදේශීය ටෙලි නාට්‍යය බදු ගෙවීම් තොරව රැගෙන ඒම නිසා දේශීය චිත්‍රපට නිෂ්පාදකයන් අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් බරපතළ දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.

විදේශයෙන් ගෙන්වන ටෙලිනාට්‍යය සඳහා බදු මුදලක් අය කරන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.