කොළඹ - කොචි - චෙන්නායි අතර හොර රන් ජාවාරමක් අල්ලා ගත් බව කොචින් ගුවන්තොටේ ගුවන් බුද්ධි අංශය කියයි.

ඉන්දියා රුපියල් කෝටි තුනක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6.24ක්) වටිනා කිලෝ එකළොහක රන් අබරණ රැගෙන ආ ශ්‍රී ලාංකික කණ්ඩායම් දෙකක් සඳුදා උදේ අත්අඩංගුවට ගත් බව ඉන්දියාව කියයි.

කිලෝ දහයක ගොරහැඩි රන් ආබරණ තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගැහැනුන් 28 දෙනකු ඇතුළු හතලිස් දෙනකු ඉරිදා උදේ අත්අඩංගුවට ගත් එහි ගුවන් නිලධරයෝ එදින සවස කිලෝ 1.7කට වැඩි රන් ආබරණ සමග තවත් ශ්‍රී ලාංකිකයෝ 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ 56 දෙනාම ඉන්දියාවට නිතර යන එන අය බව කියති.

රං ජාවාරමට ශ්‍රී ලාංකිකයන්ගේ හවුලක් ඇති බවට සොයා ගත් පළමු අවස්ථාව මෙය බව කොචින් රේගු කොමසාරිස් කේ එම් රඝවාන් කියයි.

ඔත්තුවන් අනුව ඔවුන් පැමැණි යානා පිරික්සා ඇත.

සොයාගත් අබරණවල වටිනාකම තක්සේරු කිරීමට පැය නවයක් ගත වූ බව කොචින් රේගුව කියයි.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ රන් මිලෙහි වෙනස අනුව රන් කිලෝවකින් ඉන්දියා රුපියල් ලක්ෂ තුනක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6.24ක්) සිට ඉන්දියා රුපියල් ලක්ෂ හතරක් (ශ්‍රී ලංකා රුපියල් 8.32) උපයා ගත හැකි බව කියති.

මේ ශ්‍රී ලාංකිකයන් දකුණු ඉන්දියා කොචි චෙන්නායි හා මදුරෙයි ගොවන් තොටුපොළවලට නිතර යන එන නමුත් වඩාත්ම ජනප්‍රිය ගුවන්තොට කොචි බව කියයි.