(ඩයනා උදයංගනී)

පොලිස් සහ යුද හමුදා ආඥා පනත් අනුව රථ වාහන රාජකාරී සඳහා යුද හමුදා පොලීසිය යෙදවීමේ හැකියාවක් නොහැකි බවත්, එසේ යෙදවීම නීති විරෝධී බවත් එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

පොලිස් සේවා සඳහා යුද හමුදාව යොදා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ පනත් සංශෝධනය කර එම රාජකාරී ඔවුන්ට පැවරීමක් කළ යුතු බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එසේ නොමැතිව පොලිස් ආඥා පනත යටතේ ඇති රෙගුලාසි අනුව යුද හමුදා පොලීසියට සිවිල් ජනතාව සම්බන්ධ රථවාහන වැරදි හෝ වෙනත් වැරදි සම්බන්ධ රාජකාරී කිරීමේ හැකියාවක් නැතැයි ද අජිත් පී. පෙරේරා මහතා කීවේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රටේ නීතිය ගැන නොතකා යුද හමුදා පොලීසිය පොලිස් සේවාවන්හි යෙදවීම පොලිස් නිලධාරීන්ගේ ගරුත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් බවද අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

හමුදා පොලීසිය හා සාමාන්‍ය පොලීසියේ සේවා පථය වෙනස් බව කී මන්ත‍්‍රීවරයා හිතුවක්කාරී අයුරින් ඔවුන්ගේ රාජකාරී වෙනස් කළ නොහැකි බව ද කීවේය.

එසේ කිරීමෙන් රටේ නීතියේ ආධිපත්‍යය යටපත් වන බව කී අජිත් පී පෙරේරා මහතා රටේ නීතිය හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ ජනාධිපතිවරයාට ඉහළින් බැවින් ජනාධිපතිවරයා නීතිය අනුව කටයුතු කළ යුතු බව ද පැවසීය.