(අංජුල මහික වීරරත්න)

කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP)  ඔක්තෝබර් 03 වනදා සිට 6 වැනිදා දක්වා  කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.

එහි ප්‍රධාන සැසිය ඔක්තෝබර් 5 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව  සංවිධානය කරනු ලබන මෙම සැසියේ දී කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට ඉඩ සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවර සැසිවාරය සඳහා ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 41 ක අමාත්‍යවරුන්, විදේශීය නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහ වෘත්තිකයන් 100 කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි  අපේක්ෂා කෙරෙන බවත්, 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.