(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අහේනිය හේතුවෙන්  රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද  සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තත්වයක් තිබිය හැකි බවයි.

එහෙත් අල්ලස් ගැනීමේ සිද්ධීන් සෑම එකක් පිළිබඳවම අල්ලස් කොමිසමට පැමිණිලි නොකෙරෙන බවත් සමහරුන් අල්ලස්දී තම වැඩ රාජකාරි පහසුවෙන් කර ගැනීමට පෙළඹී සිටින බවත්  සඳහන් කළේය.

විවිධ ආහාර වර්ග අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධීන් ගණනාවක්ද පසුගිය කාලයේදී වාර්තාවූ බව  අල්ලස් කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් පැවසේ.

අල්ලස් ගැනීම් සහ දූෂණ සම්බන්ධයෙන්  දේශපාලඥයන් සහ  රජයේ උසස් නිලධාරීන් ඇතුළු  83 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මින් වැඩි  නඩු  ප්‍රමාණයක් ඇත්තේ අල්ලස්  ගැනීම් සම්බන්ධයෙනි. එම  නඩු සංඛ්‍යාව 55කි.

මේ අතර රටපුරා විවිධ වංචනික ක්‍රියා සහ සොරකම්ද සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ආර්ථික අහේනිය හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත්වලට ණය මුදල් පියවීමද  සියයට 50කින් පමණ අඩුවී ඇතැයි  බැංකු ආරංචිමාර්ග වලින් පැවසේ.