එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයයේ තුන්වැනි දිනය වන අද (20 වැනිදා) සවස තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 333 ක් ලබා සිටියේය.

අළු බඳුන තරගාවලියේ සිය මංගල ශතකය ලබාගත් ජෝ රූට්, පන්දු 334 කට මුහුණ දෙමින් අද දිනයේ කී‍්‍රඩාව නතර කරන විට නොදැවී ලකුණු 178 ක් ලබා සිටියේය. ජෝ රූට්, තමාගේ ඉනිමට හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කර තිබිණ.

දෙවැනි ඉනිමේදී ලකුණු 30 කට එංගලන්ත පිතිකරුවන් තිදෙනකු දැවී ගිය නමුත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක අඛණ්ඩ සම්බන්ධතවක් ගොඩනැංවූ ජෝ රූට් සහ ටිම් බ්‍රෙස්නන් දෙදෙනා එංගලන්ත පිල වාසිදායක තත්ත්වයකට ගෙන ගියහ. අනතුරුව ඉයන් බෙල් (74) සමග එක්වූ රූට්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 153 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

මුල් ඉනිමේදී ලකුණු 361 ක් ලබාගත් එංගලන්ත පිල විසින්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 128 කට සීමා කරනු ලැබිණ. මුල් ඉනිමේදී අත්කරගත් ලකුණු 233 ක වාසියත් සමගින් එංගලන්ත පිල අද සවස තරගය නතර කරන විට කඩුලූ 5 ක් අතැතිව  ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 566 ක් ඉදිරියෙන් සිටියේය.  

එංගලන්තය - පළමු ඉනිම 361

ඕස්ටේ‍්‍රලියාව ‐ පළමු ඉනිම 128

එංගලන්තය ‐ දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 333
(ජෝ රූට් නොදැවී 178, ටිම් බ්‍රෙස්නන් 38, ඉයන් බෙල් 74, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 11, පීටර් සිඞ්ල් 65/3)