(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට  අදාල පරිගණක පද්ධතිය පෞද්ගලික සමාගමක් විසින් හසුරුවනු ලැබීම  ලොකු අවදානමක් බව  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පවසයි.

මේ අනුව පරිගණක පද්ධතිය සම්පාදනය කළ සමාගම සමග සමඟ නව ගිවිසුමකට හෝ පැමිණ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව නිලධාරින්ට උපදෙස්  දුන්නේය.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ලියාපදිංචි සමාගම්වලින් අයකරගත යුතු හිඟ මුදල් අය කර නොගැනීම සම්බන්ධයෙන්ද  කාරක සභාව  නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව ප්‍රධානීන් පැවසූවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු පූර්ණ ලෙස ලබා ගැනීම සඳහා ක්‍රමවත් දත්ත පද්ධතියක් නොමැති බවයි.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පසුගිය 18 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

සමාගම් ලියාපදිංචි කිරීමේදී  රුපියල් කෝටි අටකට වැඩි වියදමින්  කෙරුණු ලියකියවිලි ස්කෑන් කිරීමට අදාළ සියලු තොරතුරු  ඇතුළත් වාර්තාවක් බාර දෙන ලෙස  කාරක සභා සභාපති ලසන්ත අලගියවන්න මහතා උපදෙස් දුන්නේය.

මේ අතර රජයේ සමාගම් පෞද්ගලික නම් වලින් ලියාපදිංචි කිරීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්වයක්  සම්බන්ධයෙන්ද මෙහිදි  සාකච්ඡා විය.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කලක  සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ වහාම පිරවීමට  කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.