(මනෝප්‍රිය ගුණසේකර)

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06 කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (31) තීරණය කළේය.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටින ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2009 මාර්තු 31 වැනිදාත් 2013 දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළී කිරීමට නොහැකි රුපියල් ලක්‍ෂ 590 කට අධික මුදලක් යොදවා පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් වැරදි කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

වසර 04ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එදින දැනුම් දීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිචෝදනා පත්‍රයේ සිදු කිරීමට බලාපොරෙත්තු වන සංශෝධනයන්ද එදින දැනුම් දීමට කටයුතු කරන බවද දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමටද නියම කළේය.