අන්න මරු අයිඩියා එකක්. අපිට ගමපුරා ගිහින් සල්ලි එකතු කරන්නත් පුළුවන්. දන්සල දාට බීම වීදුරුවකුත් එක්ක කෙල්ලො දහ පහළොස් දෙනෙකුට එඩ‍්‍රස් දෙන්නත් පුළුවන්. මිතුරු ගැටවරයෝ සිනාසෙමින් පැවසුවෝය.
පිස්සුද උඹට. මේක එඩ‍්‍රස් දන්සලක්වත් ලව් දන්සලක්වත් නෙවී. හිත හොඳින් දෙන වෙසක් පැන් දන්සලක්.
හරි.... හරි.... ඉතින් ඒ උඹටනෙ. උඹට පැන් දන්සල මට ෆන් දන්සල. මම මේ දන්සලෙන් පුල් ෆන් එකක් ගන්නවා... ඒවට නම් එන්න එපා මෝඩයා. එතකොට අපේ අරමුණු නැතුව යනවා. දන්සලක් දෙන්න ඕනෙ තෘෂ්ණාව, රාගය වගේ හැමදෙයක්ම ඈත්කරගෙන....
කාටද උඹ මෝඩයා කිව්වෙ? මිතුරු ගැටවරයා කෝපයෙන් ඇසුවේය.
වෙන කාටද බං උඹට මිසක් මිතුරාද උත්තර දුන්නේය.
මට... ඕව තියාගන්න එපා හරිද? මිතුරා අනෙකා වෙත පැන ඔහුගේ ගෙල දෝතින්ම බදාගත්තේය. ඒ තෙරපීම ටික ටික වැඩිකරද්දී අනෙකා කළේ දණහිසෙන්, මිතුරාගේ බඩට ඇනීමය.
මිතුරුකම සතුරුකමකට පෙරලෙන්නට ගත වූයේ ඇසිල්ලකි. ඉනික්බිති ඔවුන් දෙදෙනා එකිනෙකා හා පොරබදන්නට වූයේ කෝපයෙන් සහ සතුරු හැඟීමෙන් යුක්තවය. තිරිසන් සතුන් සේය. පින් පුරවන දන්සලකින් ඇරඹි එකිනෙකා මරාගන්නා තැනට පැමිණි ඔවුන්.... ඊළඟට.... මේ අපේ රටේ වර්තමාන සමාජයේ ස්වභාවයයි... කෝප වීමට අවශ්‍ය පුංචිම පුංචි වචනයකි.... ඒ කෝපයට මිනී මරාගන්නට වුවද පුළුවන.
එපමණක්ද? රාගයෙන් මුළු සමාජයම කිලිටි වී තිබේ. දුම්රියක බස්රියක නැගී සුන්දර යුවතියකට නිදහසේ ගමනක් යා හැකිද? මග දිගේ නොබියව කොහේ හෝ ඇවිද යාහැකිද? පිරිමින්ගේ නොසංඩාල සිත් රාගෙයෙන් අවදි වී රාග ගින්නෙන් දැවෙන හැටි.. පත්තරයක් අරන් බලන්න... පුංචි සුරතලෙකුටවත් සුරතල් දියණියකටවත් සෙනෙහසක් පුදකළ නොහැකි තරමට රාගී මිනිසුන්ගෙන් සමාජය පිරී ගොස්ය.
ඉතිං මේ අවනඩු කියන්නේ කාටද? පොලීසියටද?
එවිට ක‍්‍රියාත්මක කෙරෙන්නේ වරදට දඬුවම් දීම පමණි. එහෙත් සිදුවිය යුත්තේ වැරදි නොකරන තැනට මේ සමාජය ගෙනයාමය.
එය කළ හැක්කේ කාටද? ඒ සඳහා සුවිශේෂ ශක්තියක් තිබිය යුතුමය. ඇඟිලි දහසක ගුරු පූජාවක් කරන්නට හිත හදාගත් අංගුලිමාල මෙල්ල කරන්නට සමත්වූ... බිහිසුණු අලව් යක්ෂයා උගේ විමානයට ගොස් මෙල්ල කරන්නට සමත් වූ... එහෙත් අතේ එකද අවියක්වත් නොතිබූ හිතේ දයාවත් කරුණාවත් මෛත‍්‍රියත් පමණක්ම තිබූ උත්තරීතර මිනිසෙකු අවශ්‍යමය.
එබඳු මිනිසෙක් මෙලොව සිටියා නම් ඒ මහා කාරුණික වූ බුදු පියානන් පමණක්මය. එබැවින්,
නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකානනේ
කුමාරදාස සපුතන්ත‍්‍රී මේ සමාරාධනය කළේ මීට දශක තුනකට පමණ පෙරාතුවය. එදාද අපේ රට, මිනිස් සමාජය මනුස්සකම්වලින් පිරිහී තිබිණි. කෝපයෙන් ද්වේශයෙන් පිරී අතින් අවි දරාගෙන එකිනෙකා මරාගනිමින් සිටියහ. මෙදා ඒ යුද්ධය නැතත්, මනුස්සකම්වලින් ඇතිවුණු සමාජයේ ශාන්තියක් දක්නට නැත.
ඒ නිසාම අද එදාටත් වැඩියෙන් මේ ගීතය ගැළපෙන්නේමය.
සපු මේ ගීතය ලිව්වේ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ ඉල්ලීමක් වෙනුවෙනි. ඒ වෙන විට විවිධ ගුවන්විදුලි වැඩසටහන්වලට තම දායකත්වය සපයා තිබුණද ගීතයක් ලිවීමට සපුට හැකිව තිබුණේ නැත. ඉතින් සපු තම ප‍්‍රථම සරල ගීතය ලෙස බුදු බැති ගීයක්ම ලිව්වේය.
එදා පටන් තවමත් ජනප‍්‍රියත්වයෙන් අඩුවක් නොවන මේ ගීතය සුනිලූන් තම සරල ගී වැඩසටහනෙන් පසුව මල් වට්ටියක් නම් කැසට් පටයටද ගැයුවේය. ඒ 1988 අවුරුද්දේදීය. සිංග්ලංකා නිෂ්පාදනයක් වූ නෑසෙන ගී රස සංගීත තැටියටද පසුකලෙක මේ ගීතය ඇතුළත් කෙරිණි. හැබැයි ඒ මේ ගීතය නොඇසුණු නිසා නොවේ. එයට තිබූ ජනප‍්‍රියත්වය නිසාමය.
අදටත් මේ ගීතය සුනිල්ගේ බොහෝ ගී ප‍්‍රසංගයන්හිදී නොගයා සිටිය නොහැකි තරමටම ජනප‍්‍රියත්වයේ රැඳී පවතී. මෙහි සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේය. බුදු බැතිය දනවන මියුරු සංගීත රිද්මයක් මේ ගීතය සතුවී තිබේ.
නිදුකානනේ.. නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ
සටහන - ශාන්ත කුමාර විතාන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකමට හිතෙන දේවල් දෙසැරයක් හිතලා ලිව්වොත් තමා නේද හොද? හැබැයි මමත් මේ නිකමට හිතිලා ලිව්වේ (නි)
ජාතියේ පිනට පහලවූ මෙම නිර්මාණකරුවන්ට බොදු අපගේ ගෞරවනිය ප්‍රණාමය ! (නි)
හොද බොදු ගීයක් (ස)
අන්තර්ජාලයේ ඉදිරියෙන්ම සිටින පුවත්පත ලංකාදීපයි. එහි බොහෝ වටිනා ලිපි කියවන්නට තිබේ. තෙරුවන් සරණයි. (නි)
හොද ලස්සන ගීතයක්. අහන්න අහන්න ලස්සනයි. මම මේ කිතමට වගේ කියන්නේ මොහිදින් බෙග් ගායකයා ගැයුවා නම් ඇග කිලිපොලා යයි නේද? ඒ හඩෙහි තියෙනවා නේද බුදු බණෙහි නෑ කමක්.(නදී)
වර්තමාන රියැලිටි ෂෝ සිහින ලෝකවල ජීවත් වෙන තරුණ පරපුරට තේරෙන භාෂාවෙන් ලියු ඉතා වැදගත් ලිපියක්.(නදී)
වටිනා ලිපියක් (දී)
සර්වකාලීනයි. (ස)
දුමින්ද, ඔයා ඔහොම කියනකොට මට අන්ටෝන් ජ්හොනේ ගායකයව මතක් වෙනවා.(නදී)
යහපත් සමාජයක් වෙනුවෙන් කියමින් ගොඩක් අය තම මඩිය තරකර ගනිද්දී මේ වගේ කලාකරුවන් කරන කාර්යය අතිමහත් බව මගේ අදහසයි. (නි)
දයා අලහකෝන්ට එහෙම හිතුනට ගීතයේ ශෛලිය අනුව නම් මෙය සුනිල් ගේම කට හඬ විය යුතුයි නේද? එය ඔබේ අදහසක් විනා අනෙක් අයගේ නොවෙන්න පුළුවන්. හිතන්න ඔබ මෙමගින් දක්ෂ ගායකයෙක් අවතක්සේරු කරන බව.(නදී)
හොඳ ගීතයක්,අපේ හාමුදුරුවන්ගේ ජීවිත පූජාව ගැනත් ගීතයක් නිර්මාණය කරන්න,ඉක්මනින් කරන්න. (නි)