යුක්රේනයේ ප්‍රවාහන සේවා ඉලක්ක කර ගනිමින්, රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, යුක්රේනයේ ක්‍රමාටෝර්ක්ස් නගරයේ සිවිල් බස් රථ දෙකක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත්, කුඩා දරුවන් ද ඇතුළුව සිවිල් වැසියන් 30 දෙනකු එම ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් පැවැසෙයි.

එම ප්‍රහාරවලින් තුවාල ලබා දිවි ගලවා ගත් ගණන 18 කි.

මේ වනවිට යුක්රේනයේ ඩොන්බාස් පලාත සම්පූර්ණ වශයෙන් අල්ලා ගැනීමට රුසියන් හමුදාව කටයුතු කරයි. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදෙස් පරිදිය. 

මීට අමතරව යුක්රේනයේ කීව් අගනුවර යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ද රුසියන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඉකුත් සතියේ රුසියන් හමුදා කීව් අගනුවර ප්‍රධාන පෙළේ පාලම් දෙකක් ද පුපුරුවා විනාශ කළ බව පැවැසෙයි.

මේ අතර, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටී. ට්‍රම්ප් උත්සාහ ගන්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද හමුවී තුන්කොන් සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටය.

මේ අතර රුසියනු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දියාව මෙන්ම, රුසියාවේ මිතුරකු මෙන්ම නේටෝ සාමාජිකයකු ද වන තුර්කිය උත්සාහ ගනිමින් සිටී.