(ටී.කේ.ජී.කපිල)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක දක්වා පියාසර කළ ගුවන් යානයක්  ගොඩබැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ එහි භාණ්ඩ ගබඩා වේ ෙහටගත් දුමාරයක් නිසා‍ හදිසි අවස්ථාවක් ( Emergency Landing ) ප්‍රකාශයට පත් කර , එම ගුවන් යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පියාසර කළ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයයි .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට විනාඩි 15 කට පෙර , එහි භාණ්ඩ ගබඩා කර ඇති පහත මාළයෙන් හදිසියේ දුමාරයක් පිටවීම නිසා , ගුවන් යානයේ නියමුවා කටුනායක ගුවන් තොටුපොළ මෙහෙයුම් මැදිරිය ඒ පිළිබදව දැනුවත් කිරීමෙන් පසු , මෙසේ හදිසි ගොඩබැස්සවීමට අවශ්‍ය ගිනි නිවීම් රථ , වෛද්‍යවරුන් , හෙදියන් , ගලවා ගැනීමේ භටයන් , ගිලන් රථ සහ ගුවන් තොටුපොළ අවට රෝහල් ද සූදානමෙන් තැබීමට පියවර ගෙන තිබුණි .

එහෙත් මෙම ගුවන් යානය කිසිදු ආපදාවකින් තොරව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ගුවන් නියමුවා සමත් වී තිබුණි .

ඒ.- 330 එයාර් බස් වර්ගයේ පුළුල් බද සහිත ගුවන් යානයක් වූ මෙහි ගුවන් මගීන් 258 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙක් සිටියහ .