(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම මෙන්ම එහි විවිධ හිරිහැර හා අඩන්තේට්ටම් සිද්ධීන් සම්බන්ධයෙන් වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

සංගමයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම  ලිපිය යොමු කර ඇත්තේ තිබ්බොටුවාවේ  ශ්‍රී  සුමංගල  සියම් මහ නිකායේ  මල්වතු පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක සහ  මකුලෑවේ ශ්‍රී විමල රාමාඤ්ඤ  මහානිකායේ මහනායක
හිමිවරුන්ටය.

මෙම ලිපියෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ නීති විරෝධී සහ ද්වේශ සහගත ලෙස නැවැත්වීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නීති විරෝධී සහ සදාචාර විරෝධී ආකාරයට අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම්  සිදුවී ඇති බවට හිටපු  මහාධිකරණ විනිශ්චකාරවරියක පැවැත්වූ විමර්ශනයේ  වාර්තාව පැහැදිලිව  පෙන්වාදී තිබියදී  එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර පැහැර හැරීම සහ  වෙනස් කොට සැලකීම හේතුවෙන් නිලධාරිනියක පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්වීම යනාදී වශයෙන්  කරුණු හතරක් ත්‍රෛනිකායික මහ නායක  හිමිවරුන්ට පෙන්වා දී ඇත.

නිසි නීතිමය බලයක් නොමැතිව පවත්වන ලද මූලික පරීක්ෂණයක් මත පදනම් වූ,ක්‍රියාදාමයකින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදය  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ  ප්‍රජාතන්ත්‍රවාදය, පරිපාලන සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනත්වය බරපතළ ලෙස අඩපණ කරන වර්ධනයක් අද මතුව ඇතැයිද සඳහන් කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව  හරහා  එවැනි විනය බලතල ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල බලයක්  නොමැති බවත්  එම ක්‍රියාව අතිශයින්ම චර්යා ධර්ම වලට  පටහැනි  ක්‍රියාවක් බවත් එම  ලිපිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ පරිපාලනමය ක්‍රියාදාමයේ  කැළඹිලි සහගත රටාව  මෙන්ම  පාර්ලිමේන්තුව තුළ ආරක්ෂිත, ස්වාධීන සහ වෘත්තීය වැඩ පරිසරයක් සහතික කිරීමට අපොහොසත් වීම බවද සංගමය ලිපියේ වැඩිදුරටත්  සඳහන් කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාටද පසුගියදා පැමිණිලි කළේය.