ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය ආරම්භ වීමට පැය කීපයකට පෙර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් කෙෂිම් දූපතේ ඉරාන හමුදා ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය, ඇමෙරිකන් ගුවන් යානයකට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
 එය සීමිත ප්‍රහාරයක් බවත්,  ඉලක්කය නිවැරදි වූ බවත් ඇමෙරිකා හමුදාව පවසා ඇත.

ඇමෙරිකන් හමුදා මෙසේ කෙෂිම් දූපතේ ඉරාන හමුදා ඉලක්කවලට පහර දුන්නේ, ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය අවසන් වනතුරු ඉරානයට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවට ට්‍රම්ප් පවසා තිබූ අවස්ථාවකදීය.

ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ මධ්‍යවාර මැතිවරණය අවසන් වීමට පෙර, ඉරානය සමග පැහැදිලි එකගතාවක් ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් ඉරානය සුන්නද්ධූලි කරන බවය. 

ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ, ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ අරමුණින්ය. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විත වෙයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලු අසන සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ තුනෙන් එකක ආසන සඳහාත් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සිදු කරයි. ඊට අමතරව ප්‍රාන්ත රැසක ආණ්ඩුකාරවරුන් ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් තෝරා ගැනීම ද මෙහිදී සිදුවෙයි.

මේ වනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවය. එබැවින් තීන්දු තීරණ ගැනීමේදී සහ අණපනත් සම්මත කර ගැනීමේ දී ට්‍රම්ප්ට රිසි ලෙස කටයුතු කළ හැකිය. එසේ වුවත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතු වුවහොත්, ට්‍රම්ප්ට එය ලොකු ගැටලුවක් වනු ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධියේ කෙෂිම් දූපතේ ඉරාන හමුදා ඉලක්කවලට පහර දීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත දින දෙකක් ඇතුළත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි සලකා බලමින් සිටින බවය. 

ඉරාන උත්තරීතර නායක මෙජ්ටාබා කමේනී ද ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බලතල ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්ට සහ ඉරාන විදේශ ඇමැති අබ්බා අරග්චිට පවරා ඇතැයි ද පැවැසෙයි.

පසුගිය තෙදින පුරා, කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඉරානය සමග පැවති  රහසිගත සාකච්ඡාවලින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට තම නියෝජිතයන්ට හැකිවුණු බව ද ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඒ අනුව, ඉරානය හැකි ඉක්මනින් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවත්, දෙරට අතර ගිවිසුමක් ඇති කරගැනීමට හැකිවනු ඇති බවත්, ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වෑන්ස් ද ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය සමග එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් සහ ජනාධිපති ට්‍රම්ප් සුබවාදී බලාපොරොත්තු තබා ඇති බවය. පැවැති එම රහස් සාකච්ඡාවලින් මේ වනවිට යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, තවදුරටත් ප්‍රගතියක් ලබාගත හැකිදැයි ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවද උප ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කෙෂිම් දූපතේ ඉරාන හමුදා ඉලක්කවලට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් සතුට පළ කර ඇත.

ඊශ්‍රායල පාර්ලිමේන්තු ඡන්දයෙන්, නෙදන්යාහුට හෝ ඔහුගේ දේශපාලන සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවූයේ නැත. නෙදන්යාහු විපක්ෂ කණ්ඩායම්ලට පවසා ඇත්තේ තමන් සමගර එක් වී ජාතික රජයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසය. මේ වනවිට මේ සම්බන්ධයෙන් වාද විවාද පැවැත්වෙයි.

තමන් යළි රජයක් පිහිටුවූවහොත්, ට්‍රම්ප් සමග එක් වී ලෝකයට ත්‍රස්තවාදය වපුරන ඉරානය මුළුමනින්ම විනාශ කර දමනවා යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා ඇත.