ඉදිරියේදී අධිකරණ සේවය සඳහා බඳවා ගැනීමේදී මහේස්ත‍්‍රාත්වරුන් පිළිබඳව මහජන අදහස් හා තොරතුරු විමසීමේ ක‍්‍රමවේදය යළී සක‍්‍රීය කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇතැයි අධිකරණ ආරංචි පවසයි.

එම සේවයේ පවතින මහේස්ත‍්‍රාත්වරුන්ගේ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ තරග විභාගය ඉකුත්දා පැවති අතර , නීතීඥයින් හාරසීයකට ආසන්න පිරිසක් එම විභාගයට පෙනී සිටියහ. ඉන් 61 දෙනකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඉන් 23 දෙනකු මහේස්ත‍්‍රාත්වරුන් ලෙස පත් කර ගැනීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබෙන අතර ඔවුන් බඳවා ගැනීමේ දී මෙම ක‍්‍රියාවලිය යළි සක‍්‍රිය වනු ඇතැයි ද සඳහන් වේ.

එලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත‍්‍රාත්වරුන් ලෙස තෝරා පත් කර ගත් අයගේ නම් ඇතුළත් ප‍්‍රසිද්ධ දැන්වීමක් හරහා ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් පිළිබඳ මහජන අදහස් හා තොරතුරු විමසීම සිදු කෙරෙන බවද කියති.

මීට පෙර එනම් 2000 / 2001 වර්ෂයේදී අධිකරණ සේවය සඳහා මහේස්ත‍්‍රාත්වරුන් බඳවා ගැනීමේ දී එම කොමිසම තෝරාගත් මහේස්ත‍්‍රාත්වරුන් පිළිබඳ ජනතාවගෙන් තොරතුරු විමසීමේ ක‍්‍රමවේදය පැවති බව කියති.

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම සංගමය අගවිනිසුරු ප‍්‍රමුඛ අධිකරණ සේවා කොමිසම වෙත දැඩි ප‍්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පැවසීය.