(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්  නිළ නිවසට ඊයේ (07) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය කියයි.

සැකකරු වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවසේ ප්‍රධාන ගේට්ටුවට උඩින් ඊයේ රාත්‍රි 7ට  පමණ  පැන එහි සැගවීමට උත්සාහ දැරීමේදී නිළනිවසේ ආරක්ෂාවට යොදා සිටි පොලිස්  නිලධාරීන් විසින් අල්ලා වාද්දුව පොලිසියට භාරදි  තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි  පුද්ගලයෙකු බව පොලිසිය කීය.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු ඇතුළුවූයේ කුමන කරුණක් සදහාද  යන්න සම්බන්ධයෙන් වැඩිදුර  පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි .

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති .