මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම විකුණා සයිප්‍රසයේ රැකියා ලබා දිය හැකි බව පවසා පුද්ගලයකුගේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදල් වංචා කළ හිටපු යුද හමුදා රියදුරෙකුට හා කාන්තාවකට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(10) වසර දෙකක සිරදඩුවම් නියම කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු යුද හමුදා රියදුරෙකු බව කියන නිට්ටඹුවේ පදිංචි කළුවාගේ චන්ද්‍රතිලකට සහ තංගල්ලේ පදිංචි සුරංගි ද සිල්වාටය.

2010 වසරේ දී සැකකරු මෙම කාන්තාව හදුනාගෙන ඇති බවත් රාජපක්ෂ මහතාගේ මාර්ගයෙන් පිරිසට රැකියා ලබා දිය හැකි බවට පවසා ඇය ලවා විවිධ පුද්ගලයින් රවටා ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.

2010 සැප්තැම්බර් 02 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මෙම සැකකරු සහ සැකකාරිය සයිප්‍රස් රැකියාවක් දිය හැකි බව පවසා රාගම රොෂාන් ජයශාන්තගෙන් රුපියල් 150,000 ක් ලබාගෙන ඇති අතර ඒ මුදල් ලබාගැනීමට පැමිණ ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බවත් උසාවියේදී හෙළිවිය.