හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මුදල් හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශයට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන 79 ක කළමණාකරුවන්ට අද නියම කළේය.

ඔවුන්ගේ හා ඥාතීන්ගේ නම් වලින් බැංකුවල සහ මුල්‍ය ආයතන වල ඇති වත්කම් වල තොරතුරු අවශ්‍ය වී ඇතැයි පොලිසිය දැන්වීය.

ඒ අනුව මෙරට ඇති වානිඡ්‍ය බැංකු 32ක සහ මුල්‍ය ආයතන 47ක කළමණාකරුවන්ට සැකකරුවන්ගේ ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස නියම කළේය.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශය මෙම සිද්ධිය පිළිබදව පරිකෂණ ආරම්භ කොට ඇත.

මෙලෙස පරිකෂණ ආරම්භ කොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් ලෙස කටයුතු කළ වන්නිආරච්චි නෙවිල්, තිස්ස විමලසේන හා දමිත් ගෝමිස් රණසිංහ ගැනය.