(යොහාන් භාසුර)

මහින්ද රාජපක්‍ෂ මහතා හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා අගමැති ධූරයට පත් නොකරන බවත් මහින්ද රාජපක්‍ෂ යනු ජනතාව වෙනුවෙන් බලය අත්හරීමේ හැකියාව ඇති නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (15) පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති කිරීමේ උත්සහයකට අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කළා යන ප්‍රචාරය සම්පූර්ණ පදනම් විරහිත කතාවක් බව කී කාරියවසම් මහතා දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින් මෙම කථාව පතුරවන බව ද සඳහන් කළේය.

කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සහ ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය පෙණෙන බවත් මහින්ද රාජපක්ෂ යනු මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච  ශ්‍රේෂ්ඨතම නායකයා බවත් ඒ මහතා කීය.

මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු හතරකට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක්  නිමා කළ වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා බව කී කාරියවසම් මහතා පැවසුවේ එතුමාගේ භාෂාවෙන්  කියනවා නම්  එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් භය නැති නායකයෙක් බවත්ය.