(විමුක්ති එස් රුද්‍රිගු)

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ 'ලේඩි ආර් 3' නැවේ සිටි ශ්‍රී ලාංකික පිරිස මුදවාගත් බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

'ලේඩි ආර් 3' නැවේ පුද්ගලයන් 303 දෙනෙකු යාත්‍රා කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙන ශ්‍රී ලාංකිකයන් බව වියට්නාම මාධ්‍ය පැවසුවේය.මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඒ අසලින් ගමන් ගත් ජපාන මෝටර් රථ ප්‍රවාහන නෞකාවක් විසින් මුදා ගනු ලැබ ඇත.

මියන්මාර ධජය යටතේ යාත්‍රා කරන නෞකාවක් පිළිබඳ තොරතුරු ඊයේ (07) කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්  ලැබුණු බව වියට්නාම සමුද්‍ර සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.එම බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක්  ගමන් කර ඇති බවත් මෙම පිරිස මියන්මාරයේ සිට කැනඩාව බලා සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් දැයි සැකයක් පවතින බවත් වියට්නාම බලධාරීන් සඳහන් කර ඇත.

වුන්ග් තාඕ වාරයට නාවික සැතපුම් 258 ක දුරකදී නෞකාවේ දෝෂයක් හේතුවෙන් එන්ජින් කාමරයට ජලය කාන්දු වීම ආරම්භ වී තිබේ. එහිදී නැවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව සමග සම්බන්ධ වී උදව් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් සහය පැතූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා පවසා තිබේ.

තොරතුරු ලැබුණු පසු වියට්නාමයේ හෝ චි මිං සිටි වෙරළබඩ ගුවන් විදුලි මධ්‍යස්ථානය නැවේ තත්ත්වය පිළිබඳ ගුවන් විදුලි පණිවිඩ නිකුත් කර ඇති අතර එහිදී නැව අසලින් ගමන් ගත් ජපාන හිලීයෝස් මෝටර් රථ ප්‍රවාහන නෞකාව මෙම පුද්ගලයන්ගේ උදව්වට පැමිණ ඇත.මුදවා ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් 303 දෙනා වියටනාම්යේ වුන්ග් තාඕ වාරයට පැමිණි බව වියට්නාම මාධ්‍ය පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන් 303 දෙදෙනා අතර  පිරිමි පුද්ගලයන් 264 ක් කාන්තාවන් 19 ක් ළමුන් 20 ක් සිටින බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ අද (08) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කළ විමසීමකදී වියට්නාමයේ වුන්ග් තාඕ වාරයට පැමිණි මෙම පිරිසගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවත් මොවුන් සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් බව නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසුවේය.