( තරිඳු ජයවර්ධන)
 
තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයා වෙනත් පාසලකට ස්ථාන මාරු කර තිබේ.
 
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සේවයේ අවශ්‍යතා මත යැයි කියමින් ගුරුවරයා ස්ථාන මාරු කර තිබුණ ද ඇත්තටම සිදුවී ඇත්තේ පළි ගැනීමක් බවයි.
 
මේ පාසලේ පරිපාලනය ගැන අවස්ථා කිහිපයකදී අධ්‍යාපන ඇමැතිවරයාට පැමිණිලි කර ඇති බව ස්ටාලින් මහතා පවසයි.

ඒ සෑම අවස්ථාවකම ඇමතිවරයා කීවේ කිසි විටෙකත් පලිගැනීම් නොකරන බව යැයි ද ඒ මහතා කියයි.ඇමැතිවරයා එසේ කියා තිබිය දී මෙම ගුරුවරයා ස්ථාන මාරු කර තිබෙන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

මෙම ගුරුවරයා කුඩා කළ සිට කවි ලියා ඇති දක්ෂ ගුරුවරයකු වන අතර ඔහු ලියනා කවි සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පළ කරයි. එම කවි අතර පාසල් පරිපාලනය විවේචනය කරන කවියක් ඇති බවට චෝදනා එල්ල වුවත් ඒ ගැන තිබූ විමර්ශනයේදී මෙය සම්පූර්ණයෙන් අසත්‍යක් බව ගුරුවරයා ප්‍රකාශ කර තිබිණි.
 
මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය.