
(විමුක්ති එස් රුද්‍රිගු)
මාපියන් විදෙස්ගත වීමෙන් දරුවන්ට ආර්ථික වාසි ලැබුණද, නිසි රැකවරණයක් නොමැතිවීම හෝ දිගු කාලයක් දෙමාපියන්ගෙන් වෙන්ව සිටීම හේතුවෙන් දරුවන්ට මානසික පීඩනය ඇතුළු ගැටලු ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මියගෙන් මෙරට ජාතික ළමා දිනය නිමිත්තෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළාය.
විදේශ ගතවන විට දරුවන්ට සලසන රැකවරණය දුර්වල වන සහ ප්‍රමාද වන අවස්ථාවන්හි දරුවන් මෙම අවදානමට මුහුණ දීමේ වැඩි ඉඩක් තිබෙන බව ඇය පෙන්වා දුන්නාය. එහිදී දරුවන්ට දුක, තනිකම සහ කාංසාව දැනීමේ අවදානමක් තිබෙන බවත් ඇතැම් අවස්ථාවන්හි විශේෂයෙන් කුඩා දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම්ද ඇතිවිය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් මාපියන් විදේශගත වන විට දරුවන්ට රැකවරණය අහිමිවීම අවධානය යොමුකළ යුතු කරුණක් බවද බ්‍රිගම් මහත්මිය පෙන්වා දුන්නාය. කෙසේ නමුත් මෙම අදහස් ප්‍රකාශ කිරීමේ අරමුණ විදෙස්ගත වීම අධෛර්යමත් කිරීම නොවන බවත්, මාපියන් විදෙස්ගත වීමට ගන්නා තීරණයේදී දරුවන්ගේ යහපැවැත්මටද ඒ හා සමාන වැදගත්කමක් ලබාදීම බවත් එමා බ්‍රිගම් මහත්මිය සඳහන් කළාය.
මාපියන් විදෙස්ගතවීම හේතුවෙන් දරුවන් රැක බලාගන්නන් කීපදෙනෙකු යටතට පත්වීමට සිදුවිය හැකි බවත්, දරුවන්ට පවුල තුළ පැවැරෙන වගකීම් වැඩිවීම හෝ ඔවුන් නිසි අධීක්ෂණයක් නොලැබීම සිදුවිය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙම තත්වයන් හේතුවෙන් දරුවන්, නොසළකා හැරීමේ, අපයෝජනයට ලක්වීමේ සහ අනවශ්‍ය වාසි ලබාගැනීමේ අවදානමක් නිර්මාණය විය හැකි බවද බ්‍රිගම් මහත්මිය සඳහන් කළාය. මානසි පීඩනය හේතුවෙන් දරුවන්ගේ ඉගෙනීමට ඇති උනන්දුව අඩුවීම හෝ පාසල් පැමිණීම අක්‍රමවත් වීම නිසා ඔවුන්ගේ අධ්‍යාපනයටද බලපෑම් ඇතිවිය හැකි බවත් ඇය කීවාය.
කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී විදෙස්ගත දෙමාපියන් එවන මුදල් හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනයට වැඩි අවස්ථා ලැබී ඔවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණුවූ අවස්ථාද තිබෙන බව ඇය ප්‍රකාශ කළාය.
මාපියන් විදේශගත වීමෙන් දරුවන් සහ පවුල අතර තිබෙන සබඳතාවයටද හානි සිදුවිය හැකි බවද ඇය සඳහන් කළාය. විදේශ ගතවීමෙන් පසු නිරන්තරයෙන් දරුවන් සමග සම්බන්ධ නොවීම සහ විදේශයන්හි සිට මුදල් එවීමේදී මතුවන අර්බුද එයට හේතුවිය හැකි බවද බ්‍රිගම් මහත්මිය ප්‍රකාශ කළාය. දරුවන්ගේ වයස අනුව සහ ස්ත්‍රී/පුරුෂභාවය මත එල්ලවන බලපෑමද වෙනස්වන බව ඇය කීවාය. පවුලේ ප්‍රධාන රැකවරණය සපයන්නා රැකියා සඳහා විදේශගතවන විට දරුවන්ට එල්ල වන බලපෑම තවත් ඉහළ බවද ඇය ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් මාපියන් විදේශගතවූ පමණින් මෙම සෘණාමක බලපෑම්වල ක්ෂණිකව මුහුණදීමට දරුවන් සිදුනොවන බවත් විදේශගත වනවිට දරුවාගේ රැකවරණය, එවන මුදල් වියදම් කරන ආකාරය ආදී කරුණු හොඳින් සැලසුම් කර විදේශගත වන්නේ නම් දරුවන් එයට ධනාත්මක මුහුණදිය හැකි බවත් බ්‍රිගම් සඳහන් කළාය.
විදේශගතවන මාපියන් තම දරුවන් සමග නිරන්තරයෙන් ආදරණීය සම්බන්ධතාවයක් පවත්වා ගැනීම, විදේශ ගතවීමට පෙරට තම දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීම, දරුවන් වෙනුවෙන් ආරක්‍ෂිත රැක බලා ගන්නන් සුදානම් කිරීම සහ පාසල් හා සෞඛ්‍ය සේවා ඔස්සේ දරුවන්ට මානසික සමාජීය සහයෝගය ලබා දීම ඉතා වැදගත් බවද ඇය ප්‍රකාශ කළාය.
දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රැකබලාගන්නන් පුහුණු කිරීම සහ ළමා ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමටද එක හා සමාන වැදගත්කමක් හිමිවන බව බ්‍රිගම් මහත්මිය සඳහන් කළාය.
ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාව දැනටමත් ඇතැම් ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා සුබසාධන සහායද ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය සඳහන් කළාය.
එම ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක කර තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, අර්බුදකාරී තත්ත්වයකට පත්වන දරුවන් පමණක් නොව සියලු දරුවන් කල්තියා හඳුනාගෙන අවශ්‍ය සහාය ලබාදීම වැදගත් බවත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd