රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමෙන් රෝග කාරක එච්.අයි.වී වෛරසය ශරීරගත වී ඇත්දැයි මේ වසරේ සිට ශ්‍රී ලංකාවේ සියලු ගැබිණි මව්වරුන්ගේ ලේ විධිමත් ලෙස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියයි.

මාතෘ සංරක්ෂණ ගුණාත්මකභාවය හා එච්.අයි.වී ආසාධිත තත්ත්වයට පත්නොවන දරු උපතක් ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම පරීක්ෂණ විධිමත් කිරීමට බලාපොරොත්තුවන බව ඔහු කීවේය.

‘රටපුරා ගැබිණි මව්වරුන් තුන් ලක්ෂ පන්දාහක් පමණ වසරකට වාර්තාවේ. මෙම රුධිර පරීක්ෂණ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මගින් සායනික මට්ටමින් සිදු කැරෙයි. 2015 වසරේදී එච්අයිවී ආසාධිත ගැබිනි මව්වරුන් විසි දෙදෙනකුගෙන් එච්අයිවී ආසාධිත නොවූ දරු උපත් 12ක් වාර්තාවූ බවත් හේ පැවසීය.

ශ්‍රී ලංකාවේ ගැබිණි මව්වරුන්ට ඒඩ්ස් පරීක්ෂණ සිදු කිරීම නව අත්දැකීමක් වුණත් විදේශයන්හි මෙය ඉතා විධිමත්ව ක්‍රියාත්මක කරන අතර පසුගිය වසරේ 60%ක පමණ ගැබිණි මව්වරු රුධිර සාම්පල් පරීක්ෂාවට යොමු කළ බව ඔහු පැවසීය.

මේ වසරේ එම පරීක්ෂණ 90% ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තුවන බවත් මෙම පරීක්ෂණ රජයේ රෝහල්වලට පමණක් සීමා නොකොට පෞද්ගලික අංශයේ රෝහල්වලටද යොමු කරන බව ඔහු කීවේය.