SAN_1592   

z_ARTS-page-16-Milton

සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි අද අප අතර නැතත්, ඒ ආදරණීය ආමන්ත‍්‍රණයේ මිහිර පරපුරෙන්-පරපුරට දායාද කිරීමේ උරුමය රැගෙන යන්නේ, මේ පිය-පුතු දෙදෙනාය. මිල්ටන් මල්ලවආරච්චිගේ ආදරණීය පුතු රනිල් සහ මුණුපුරා වන පවන් ඒ දෙදෙනාය. රනිල් ඇතුලූ මේ පිරිස පදිංචිව සිටින්නේ  ඕස්ටේ‍්‍රලියාවේය. මේ සීතල දුරුතු මහේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ආදරණීය පියාණන්ගේ, ආදරණීය සීයාගේ උපහාර ගී ප‍්‍රසංගය පැවැත්වීම සඳහාය. මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ ජනවාරි 09 වැනිදා සවස 6.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මෙවර මෙම ප‍්‍රසංගයේදී රනිල්ට අමතරව මිල්ටන්ගේ මේ මුණුපුරා ද ගී කීපයක් ගැයීමට නියමිතය. රනිල් සහ පවන්ගේ මේ හමුව ඒ වෙනුවෙනි.

 


පවන්


පවන් මල්ලවආරච්චිගේ වයස අවුරුදු 16කි. පාසල් අධ්‍යාපනය ලබන අතරේ ගුවන් නියමු පුහුණුව ද ලබමින් සිටියි. ඊට අමතරව සංගීත අංශයේ නියැලෙන අතර පාසලේ ශිෂ්‍ය නායකයා ද වන්නේය. පාසලේ ප‍්‍රධාන ගායන ශිල්පියා ද වන අතර ඉගෙනීම් කටයුතු ද ඉතා හොඳින් කරන්නේය. 

SAN_1598

 

  •  වෘත්තීය ගුවන් නියමුවකු වීම සඳහා කටයුතු කරන පවන් සීයාගේ ගීත ගයන්නේ ඇයි?

”සීයා මියයන විට මම ඉපදිලාවත් නැහැ. නමුත් සීයා ගැයූ ගීත හරි විශිෂ්ටයි. ඒත් අද කාලයේ ශ්‍රී ලාංකීය ගීත කලාව වෙනස් මගකට ගිහින්. නව තාක්ෂණය එක්ක හැත්තෑව දශකයේ ඒ ගීත කලාව නැවත කරළියට ගෙනෙන්න  ඕනෑ. ඊට අමතරව සීයාගේ ඒ නොමියෙන අපූරු ගීත ඉංග‍්‍රීසි පරිවර්තනයෙන් නිර්මාණය කිරීමටත් උත්සාහ ගන්නවා.

 

 

  •  සීයා ගැයූ ගීතවල වෙනස සහ සීයා ගැන ඔබ අසා ඇති කතා මොන වගේද?

අදටත් සීයා රටේ ලෝකයේ මිනිසුන්ගේ ආදරය ලබන හැටි මම දකිනවා. ඒක හරි අපූරු දෙයක්. ඒ වගේම සීයා තමාගේ සමහර ගී නිර්මාණ සඳහා හරිම සරලව සංගීත භාණ්ඩ යොදාගෙන තිබෙනවා.

 

 

  •  සීයාගේ ගීතවලින් ඔබ වඩා කැමති ගීතය?

ඒක හරිම අපහසු දෙයක්. ඔක්කෝම වින්දනීයයි. නමුත් ”මා නිසා ඔබ නොපිරූ පිරුම්” ගීතයට විශේෂ කැමැත්තක් තිබෙනවා.

 

 

  •  පවන් ඔබගේ තාත්තා ගැන කොහොමද හිතන්නේ?

තාත්තා ඇත්තටම හරිම ආදර්ශවත් චරිතයක්. තාත්තා එහේ රැකියාව කරන අතරේ, සංගීත කටයුතු වගේම, ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙත් නියැලෙනවා. සංගීත ප‍්‍රසංගවලටත් දායක වෙනවා.

 

 

  •  තාත්තා එයාගේ නිර්මාණවලට වඩා සීයාගේ ගීත තමයි නිතරම ගයන්නේ. ඔබ ඊට එකඟද?

සීයාගේ ගීත රැකීමේ පූර්ණ වගකීම තියෙන්නෙ තාත්තාටයි. අන්න ඒ නිසයි තාත්තා එහෙම කරන්නෙ. මම හිතන්නෙ එය කළ යුතුම දෙයක්. ”රනිල්ට මගේ ගීත කියන්න බැරි නම්? වෙන කාටද පුළුවන්”? කියලා සීයාම කියලා තියෙනවා.

 

SAN_1610

 


රනිල්

 

  •  රනිල් ඔබ මේ ගමන ලංකාවට ආවේ කොච්චර කාලයකට පසුවද?

2013 අන්තිමට ආවේ. ඊට පසු මේ වසරේදී ඇන්ජලීන් ඇන්ටිගෙ ප‍්‍රසංගයට සහ තවත් ප‍්‍රසංගයක් සඳහා ආවා. තාත්තා වෙනුවෙන් ප‍්‍රසංගයක් පවත්වන්නේ අවුරුදු හතරකට පසුවයි.

 

 

  •  ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

තාත්තා අපට අහිමි වී අවුරුදු 18යි. ඒ සියල්ල වෙනුවෙන් තමයි ”සඳ ඔබයි පියාණෙනි” ප‍්‍රසංගය පවත්වන්නෙ.

 

 

 

  •  මෙහි ඇති විශේෂිත අංග මොනවාද?

මගේ පුතු පවන් මෙම ප‍්‍රසංගයේදී ගීත කීපයක්ම ගායනා කරනවා. මම සහ මගේ පියා ගායනා කළ ”මේ ලොව ගැඹුරුයි” ගීතය අද මා සහ පුතු ගායනා කරනවා. පරම්පරා තුනක නියෝජනය වන්නේ එදාටයි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මගේ පියා සමග ගැයූ ගීතයක් අද මගේ පුතා ගායනා කරන්න සූදානමින් ඉන්නේ. හැබැයි ප‍්‍රසංගය නැරඹීමේදී ගීතය මොකක්ද කියලා පේ‍්‍රක්ෂකයින්ට දැනගත හැකි වේවි. තවත් වෙනස්කම් රැසක්ම තියෙනවා.

 

 

  •  රනිල්  ඕස්ටේ‍්‍රලියාවේ ගෙවෙන ජීවිතය වගේම ඔබගෙ පුතාගෙ ගමන ගැන කොහොමද දකින්නේ?

එයා අධ්‍යාපනයට වගේම සංගීතයට වඩා දක්ෂ බව පෙනෙනවා. නමුත් එයාගෙ අරමුණ ගුවන් නියමුවකු වීමයි. සංගීතයෙන් පාසලේදී විශිෂ්ට සම්මාන සෑම වසරකදීම ලබා ගත්තා. පාසලේ එයා තරුවක් කිව්වොත් හරි. ඉතින් එයා එයාගේ ගමන යාවි. සරසවි උපාධිය තමයි එයාගෙ ප‍්‍රධාන අරමුණ.

 

SAN_1566

 

 

 

  •  එතකොට දියණිය?

දියණියත් උසස් අධ්‍යාපනය ලබා, මෝස්තර නිරූපණ හා විලාසිතා අංශයෙන් උපාධිය ලබා ගැනීම උදෙසා අධ්‍යාපනයේ නියැලෙනවා. එයා කලාව සහ රංගනයට කැමති බව පෙනෙනවා. නමුත් උපාධිධාරීන් ලෙස තමයි එයාලා සමාජගත වීමට උත්සාහ ගත්තෙ.

 

 

  •  ඔබගෙ කටයුතු මොන වගේද?

මම එහි රැකියාවක් කරනවා. අමතරව ප‍්‍රසංගවලටත් දායක වෙනවා. මේ වසරේ සංචාර කීපයක්ම තිබෙනවා.  ඕස්ටේ‍්‍රලියාව ඇතුළෙත් සංචාර කීපයක්ම තිබෙනවා.


පසුගිය වසරේදීත් ප‍්‍රසංග ගණනාවකට සහභාගි වුණා. නවසීලන්තයේ ප‍්‍රසංගයකටත් යාමට නියමිතයි. එංගලන්තයේ, කැනඩාවේ සහ ඇමරිකාවටත් ප‍්‍රසංග සඳහා ගියා. රැකියාවෙනුත් ඒ සඳහා නිවාඩු ලැබෙනවා.

 

 

  •  මේ විදියට ලෝකය වටේ ප‍්‍රසංගවලට ගියාම තාත්තාගේ මොන ගීතය ද පේ‍්‍රක්ෂකයින් වැඩිපුර ඉල්ලන්නෙ?

නමුත් සිහිනෙන් ඔබ මට, මධුමල, එදා රැ, අවසර නැත මට, ගමනේ ගිම් නිවූ එදා, තනි වී සිටින්නයි, පායා ආ සඳ, සීතල හිම රටේ වැනි ගීත සඳහා විශේෂ කැමැත්තක් ඇති වග පෙනෙනවා.

 

 

  •  ඔබට තාත්තාගේ ගීතවලින් ඉතා සුවිශේෂීව ගයන්න පුළුවන් වුණේ මොකක්ද?

”මධු මල ලෙස මුදු” ගීතයට මම බොහෝම ප‍්‍රියයි. තාත්තාත් ඒ ගීතයට තමයි වඩාත් ප‍්‍රිය කළේ.

SAN_1557

 

Location - Heyleys Cafe Pixel

sadun-gamage