(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාවත්ත බෝධිරාජ මාවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගියේ තියුණු ආයුධ ගබඩාවක් වටලා වයස අවුරුදු 22ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම සැකකරු සමඟ කඩු තුනක් අත්පොරෝ දෙකක් හා තියුණු උල් ආයුධයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ කොළඹ ආරක්ෂාව සම්බන්ධයෙන් යොදවා ඇති ඩි කලාපයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිසිය වෙත භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.