(විමුක්ති එස් රුද්‍රිගු)

ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සහ තමන් අතර කූඩුවක් තුළ පැවැත්වීමට නියමිත මික්ස් මාර්ෂල් ආර්ට් සටන ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ව විකාශනය කෙරෙනු ඇතැයි ටෙස්ලා ප්‍රධානී ඊලෝන් මස්ක් ඊයේ (06) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ජිම් එකකට යෑමට කාලයක් නොමැති බැවින් සටනට පුහුණු වීම සඳහා තමා රාජකාරි සිදු කරන අතරතුර බර උසුලා ව්‍යායාම් වල නිරත වන බව මස්ක් පෙන්වා දී ඇත.

ඉන් ලැබෙන ආදායම සුබ සාධන කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇති බව එම සටහනේ සඳහන් කර තිබිණ.ඊලෝන් මස්ක්ගේ මෙම සටහන සම්බන්ධව මාර්ක් සකර්බර්ග් ඔහුගේ ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමා ඊලෝන් මස්ක් සමඟ සටන් කිරීමට ඕනෑම දිනක සූදානම් බවත් ඒ සඳහා එළඹෙන 26 වැනිදා යෝජනා කර සිටින බවත්ය.

නමුත් ඊලෝන් මසක් සටන සඳහා පුහුණු වන බව පවසා සිටියත් සටන පැවැත්වීම සඳහා දිනයක් තවමත් තහවුරු කර නොමැති බව මාර්ක් සකර්බර්ග් පවසා ඇත.එසේම ඔහු පෙන්වා දී ඇත්තේ සුබ සාධන කටයුතු සඳහා මුදල් එකතු කිරීමට ඊලෝන් මස්ක්ගේ එක්ස් සමාජ මාධ්‍ය ජාලයට වඩා තමාගේ සමාජ මාධ්‍ය ජාලයට වැඩි  පළපුරුද්දක් තිබෙන බවයි.