ලාංකේය ජන සමාජයේ බුද්ධිමය රසාස්වාදය වර්ධනය කිරීම උදෙසා විසල් මෙහෙයක් කළ අග‍්‍රගන්‍ය කවියකු හා ගී පද රචකයකුවන රත්න ශ්‍රී විජේසිංහ වෙනුවෙන් දැයේ කෘතවේදීත්වය පළ කරනු වස්, ”රත්න ශ්‍රී උල්පත පාමුල” නම් ප‍්‍රාසාංගික උපහාර උළෙලක් ජුනි මස 02 වෙනි දින ”නෙළුම් පොකුණ” මහින්ද රාජපක්ෂ ජාතික රංග කලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.
රත්න ශ්‍රී විජෙසිංහගේ නිර්මාණ දිවියට හතළිස් වසරක් ද, ඔහුගේ ජීවන ගමනට හැට වසරක්ද සපිරෙන එදිනට ”රත්න ශ්‍රී උල්පත පාමුල” කෘතිය එළිදැක්වීමට නියමිතය.
නව පරපුරේ ගී පද රචකයකු හා ලේඛකයකු වන පමිත ආර්. ලියනගේ විසින් සංස්කරණය කරනු ලබන එකී කෘතියෙහි රත්න ශ්‍රී විජේසිංහගේ නිර්මණකරණය පිළිබඳ විද්වතුන්ගේ විමර්ශනාත්මක ලිපි එකතුවක් හා ඔහුගේ ජීවන තොරතුරු ද, ස්වර ප‍්‍රස්ථාර සමග ජනප‍්‍රිය ගීත රැසක්ද අන්තර්ගත වේ.
රත්න ශ්‍රී විජේසිංහ විසින් රචිත, ජාතික රූපාවාහිනය මගින් නිෂ්පාදනය කරන ලද ”මියුරු සර” (ජාත්‍යන්තර සම්මාන දිනූ) ගීතාවලිය ෘඪෘ තැටි ද්විත්වයක් ලෙසින් ජනගත කිරීමද එදින සිදුවනු ඇත. එසේම, ඔහුගේ ජනප‍්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද, ඔහුගේ තොරතුරු ඇතුළත් නව වෙබ් අඩවියක්ද එදින එළිදැක්වීමට නියමිතය.
උල්පත පාමුල
ඒ අද ඔහු සිටින තැනය
ගෙවීගිය දශක හයකට කලින්, උල්පතක් තියා දිය බිඳක්වත් නුදුටු ඔහුට උල්පත දකින්නට ලැබුණේ දශක හතරකට පෙරාතුවය.
ඒ උල්පත සාහිත්‍ය පිපාසයයි.
ඔහු රත්න ශ්‍රී විජේසිංහයි.
අද ජුනි මස දෙවැනි දින ජීවන ගමන් මගේ හැටවැනි වියට පිවිසෙන ඔහු, අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිය උල්පත දෙස හැරීබලයි. කවියකු ගීත රචකයකු ළමා කතා රචකයකු ලෙස රාජ්‍ය සම්මානවලින් පවා පිදුම්ලද ඔහු උල්පත පාමුලට වී අද හුදෙකලාව පසුවන්නේ ජීවිතය සතු අනිත්‍යතාවයත් හුදෙකලාවත් මොනවාට වටහාගෙනය.
එහෙත්, ජීවිතයේ හැට වසරත් සාහිත්‍ය සේවනයේ හතළිස් වැනි වසරත් සමරන රත්න ශ්‍රීට ජීවිතය දෙස ආපසු හැරී බලන්නටවත් සිතෙන්නේ නැත. පසුපස ඇත්තේ සිහිපත් කර සතුටු වන්නට තරම් කරුණු කාරණා නොවන නිසාය. එහෙත් හැරී පසුපස බලනවා මිස එබී ඉදිරිපස බලන්නට මිනිසකුට හැකියාවක් නැත. ඉදිරිපස කිසිවක් නොපෙනෙන නිසාය.
ඒ අතීතයේ මුල්ම අවදියේ ඔහුට සිහි කළ හැක්කේ ආදරණීය මෑණියන්ගේ වියෝවයි. දරුවකුට මවක් තරම් සෙනෙහසක් පුදන වටින කියන සම්පතක් තවත් කොයින්ද?
එහෙත් අවුරුදු දෙකක්වත් පිරෙන්නට කලින් තම මව ඔහු හැර යාමත් සමග, රත්න ශ්‍රීට හිමි වූයේ තාත්තාගේත් මිත්තනියගේත් ආදරයයි. ඒ තාත්තාද ඔහුට වසර හතක් පිරෙන විට ඔහු තනිකර දමා නොඑන ගමන් යන්නට ගියේය. ඒ නිසාම ඔහු යාම්තමට අකුරු ටිකක් එකතු කර කවියක් ලියාගන්නට සමත්කම් ලැබූ දා හාපුරා ලිව්වේ අම්මා ගැනය.
තනිවෙලා මා නන්නාඳුනන
දුරු රටක මග නොදන්නා
එන්න අම්මේ පාලූ අහසේ
අඳුර අතරින් පායලා
නිදා ගන්නට ඔබේ උණුසුම
පිරුණු ඇකයේ හිස තියා
හිනාවීගෙන එන්න අම්මේ
සිහිනයක් සේ පාවෙලා
පෙරී අතු ඉති අගින් මිදුලට
ගලා ආ සෙනෙහස ඔබේ
උරා බිව් හැටි කිරිඋරා බොන
නොදරුවකුසේ ඉකිගසා
පාළු හැන්දෑ සුළඟ සීතල
ඔබේ කිරි සුවඳින් තෙමා
එන්න අම්මේ නන්නාඳුනන
ඈත අහසින් පායලා
දෑස් පියවේ නපුරු සිහිනේ
අන්ධකාරේ තනිවෙලා
ඔළුව අතහා තුරුලූ කරගෙන
ඉන්න අම්මේ ළංවෙලා
දහසද ඉක්මවූ සිය ගීතාවලියේ ආරම්භක ගී පද මාලාව වූ එය රත්න ශ්‍රී තැපැල් කළේ ගුවන් විදුලියේ යෞවන සමාජය වැඩසටහනටය. ප‍්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලට හමු වූ ඒ ගී පද වැල විශාරද ගුණදාස කපුගේ ගේ සුරතින් සංගීවත් කෙරී ගායනා කෙරුණි.
එහෙත් මේ ගීතය එදා ගැයුනා මිස යළි යළිත් වාදනය කරන්නට පටිගත කෙරුණේ නැත. මේ නිසා ඊට වසර හතකට පසු එනම් 1978 දී එම ගී පද වැලම රත්න ශ්‍රී ටී.එම්. ජයරත්නට දුන්නේය.
ඔහු මේ ගීතය සිය සරල ගී වැඩසටහනකට ගයනු පිණිස ගුවන් විදුලියේ ගීත සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළේය. එය කියැවූයේ ප‍්‍රකට විද්වතෙකි. එවකට පැවැතියේ එ.ජා.ප. ආණ්ඩුවකි. විපක්ෂ නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය ජනතා ආමන්ත‍්‍රණයට ලක් වූයේ මැතිනියත් අම්මාත් ලෙස බැවින් අම්මා යන උතුම් වචනය පොදුවේ මව්වරුනට කිව නොහැකි තරම්විය.
මේ නිසා රත්න ශ්‍රී ගේ ගීතයේ වූ එන්න අම්මේ යන වචන දෙක මැතිනියට කෙරුණු ආමන්ත‍්‍රණයක් යැයි පටු කල්පනාවක් ඇති කර ගත් සමීක්ෂකයා එම පද දෙක අනුචිත පද සේ සලකුණු කළේය. එබැවින් එම ගීතය ගායනා කිරීමට ටී.එම්.ටද නොහැකි විය.
රත්න ශ්‍රී ගේ පළමුවැනි ගී පද මාලාවේ සිය මව සේම අකල්හි දී ඔහුට අහිමිවුවත් ඉනික්බිති ඔහු ලියූ ගී සියල්ල රසික මන දොළ සපුරාලන්නට සමත්විය.
මේ වන විට ඔහු පෙම්වතකුව සිටියේය. උසස් අධ්‍යාපනය උදෙසා ගාල්ල නගරයට පැමිණි ඔහුගේ නවාතැන වූයේ ගාලූ කොටුවේ ලේන්බාන් වීදියේ වූ නිවෙසකි. එහි වාසය කළ සුරුපී යෞවනිය හේමමාලා රත්න ශ්‍රී ගේ කවි සිත පහන් කළේය. ඇගේ රූ සිරිය රත්න ශ්‍රී ගේ නෙත් සිත් අවදි කළේය. පුබුදු කළේය. රසවත් කළේය.
ඉතින් ඔහු ඒ පේ‍්‍රමණීය හැඟුම් වැල ගීතයක පද වැලක් බවට පත් කළේ අනායාසයෙනි.
නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරි
සිහිනයෙන් එබී මා ළඟින් සැදී
මවුපියන් බලා නොඉඳී
නින්ද නොයන විට පැලේ පැදුර උඩ
ඈත දෙපා වෙහෙසී
එයි හීන් සැරේ ඔබ පවන් සලා මට
බලා ඉඳී හිනැහී
ලියා දෙවසරකට පමණ පසු බණ්ඩාර අතාවුදගේ හඬින් ගැයුණු මේ ගීතයත් සමගම හේමමාලිය සහ පේ‍්‍රමය වෙනුවෙන් තවත් බොහෝ ගීත ඔහු අතින් ලියැවුණි.
වයස අවුරුදු 21 වන විට තෙල්ලඹුරේ පාසලට ගුරුපත්වීමක් ලැබුණු රත්න ශ්‍රීට, දුෂ්කර මාරුව ලැබුණේ වෙල්ලස්සටය. ඒ වන විට හේමමාලිය සරණබැඳගෙන සිටි රත්න ශ්‍රීට මේ දුෂ්කර ගමන වියෝගයක් සේ දැනුණි. එහෙත් එකී සියලූ දුක්බර හැඟීම් ගීත ලෙස සොම්නස් සහගත වෙමින් ප‍්‍රතිනිර්මාණය විය.
මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්න නුඹට හිම සේ
ගොස් ඉන්න කුලී නිවසේ
එම ඝෝර සර්ප භවනේ
දුවරුත් සමග හේමමාලිය ගාලූ කොටු පවුර ඇතුළෙහි තනි කර දමා වංකගිරියේ දුෂ්කර සේවයට යන අතරතුරේ ඔහු ලියූ මේ ගී පදවැල කපුගේ වඩාත් සංවේදී ලෙස ගායනා කළේය.
රත්න ශ්‍රීට ඔහුගේ මේ දුෂ්කර සේවය වංකගිරියේ අරණක් බඳු විය. ඒ වංකගිරිය අරණේ සිට ඔහු ලියූ කව් ගී වංකගිරිය අරණේ නමින් ගීත පොතක් බවට පත්විය. මෙකී ගීතයට ඔහු නම් දී තිබුණේ වංකගිරියට පිටත් වීම ලෙසිනි.
වෙල්ලස්ස ඉසව්වේ ගෙවී ගිය රත්න ශ්‍රීගේ දුෂ්කර ගුරු සේවයෙන් ඔහු උකහාගත් අත්දැකීම් රාශියකි. ඒ අත්දැකීම් තව තවත් විචිත‍්‍ර ගීත රචනා බිහි කර දෙන්නට සමත් වූ බව ඔහුට මතකය.
කුවේණියට වෙල්ලස්සේ මිනිස්සුන් කීවේ කුකුලාපොල කිරි අම්මා ලෙසිණි. මේ කතාවද රත්න ශ්‍රීට මියුරු ගීතයක්ම වූවේය.
කුකුලාපොළ කිරි අම්මියෙ
නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මං
කොයි බට යන්දැයි
නිවැරැද්දේ අපට මෙහෙම
පිටුපෑවේ ඇයි
කුකුලාපොළ කිරි අම්මගෙ
නුඹෙ උණුහුම කොයි
කලකට පසු වංකගිරියෙන් පිටත් වූ රත්න ශ්‍රීට ගුරු විද්‍යාල කථිකාචාර්ය රැකියාවක්ද ඊටත් පසුව අමාත්‍යංශ මාධ්‍ය ලේකම් රැුකියාවක්ද ආදී වශයෙන් විවිධ රැුකියාවන් ලැබුණි. තවත් කලෙක රැුකියා අහිමිවීම්වලටද ලක්වන්නට ඔහුට සිදුවිය. ජීවිතයේ මේ සියලූ හැල හැප්පීම් දරාගෙන ජීවත් වූ ඔහුට ”ජීවිතය” අහිමිවූයේ හේමමාලි නම් සිය පි‍්‍රයම්බිකාවගේ නික්ම යෑමත් සමගය.
ඒ මීට වසරකට පමණ පෙරාතුවය. ඇගේ තුන් මස දානය දවසේ හේමමාලි නමින් කවිපොතක්ද නිකුත් කෙරුණි. ඒ රත්න ශ්‍රීගෙන් ආලෝකය ලැබූ කවියන්ගේ එකතුවෙනි. මේ පොත පිරුණේ හේමමාලියනට ලියැවුණු කවි සංකල්පනාවලිනි. කවියකුගේ බිරිඳකට තියා කවියකුටවත් එබඳු පොතක් නිකුත් නොවන රටක හේමමාලිට වෙන් වූ එකී කවි පොතද අරුමයකි. මේ සියලූ මතකයන් හිතේ තනිකම සමග පොරබදද්දී රත්න ශ්‍රී සිය බිරිඳ සහ පේ‍්‍රමය පිළිබඳව කවිපොතක් ලියන්නට පටන් ගත්තේය.
මූණ මුකුලූවෙන් රෑ හඳ වතුර පෙනේ
රෑන පිට රෑන කොන්ඬේ පිටට නැමේ
මූණ කන්ඩ ආ දිවියා එහෙම නෙමේ
මූණ බලාපං යනවා හෙටම ගමේ
මේ රත්න ශ්‍රී එම පොතට එක් කළ එක් කවියකි. ඒ හේමමාලිය හාපුරා මුණගැහුණු දවසක මතකය යළි අවදි කිරීමකි, එදා රත්න ශ්‍රී දැක මූණ හංගාගත් කෝල දැරිවිය පිළිබඳ මතක යළි මතකයට නගා ගැනීමකි.
දීර්ඝ කාව්‍යයක් වන මෙම පොතට කවියා දැමූ නම සක්වාය. සක්වා යන වදනෙහි අරුත යුගළක් යන්නය.
රත්න ශ්‍රී මේ කවිපොත ලහිලහියේ ලියාගෙන ගියත් ඔහු සිතූ තරම් ඉක්මණකට මෙය ලියා අවසන් කළ නොහැකි විය. එබැවින් උල්පත පාමුල උත්සවය දවසේ මෙම පොත දොරට වැඩම වීමට ඔහු තුළ වූ අපේක්ෂාව ඉටු වූයේ නැත.
එහෙත් නුදුරු දිනෙක එම කවිපොත රසික දොරට පිදුණු දිනෙක සැමියකු වෙතින් බිරියකට පිදෙනා ආදරයේ උත්තම ස්වභාවය ගැන කාට කාටත් අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.
රත්න ශ්‍රී විජේසිංහ සමග කළ පිළිසඳරකිනි
සටහන - ශාන්ත කුමාර විතාන |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුත්බර ගීත වර්තමානයේ ඇති නොවීමට ප්‍රධානම හේතුව වන්නේ සිංහල අධ්‍යාපනයේ ඇති දුර්වලකම්ය. සිංහල හරියට ඉගෙන නොගත් සිංහලයා සිතිවිල්ලක් අරුත්බර වචන රටාවකින් ඉදිරිපත් කරන්නේ කෙසේද....'දන්නා සිංහලෙන්' ලියනවා හැරෙන්නට. (නි)
මේතුමා ගියපු හොදම පොත 10-11 කෘෂි විද්‍යාව. ඒ තරම් අනිත් පොත් ප්‍රයෝජනවත් නැහැ.(නදී)
මධු විත අපිට බොහෝ ශ්‍රේෂ්ට කලාකරුවන් පිරිසක් නැති කලා. ඔබතුමන් එහෙම නෑ නේද??(අ)
විශිෂ්ඨයි .... කවි සිත, සංවේදී මිනිසෙක් ...... ඔබ (අ)
කොවුලාට (ගුණදාස කපුගේ )ගැලපුණු පන්හිද (රත්න ශ්‍රී ). (දී)
මිය ගිය බිරිඳ ගැන කවි ලියන්න මොනතරම් සිත එකලස් කළ යුතුද? අතීත සිතුවිලි වලින් ගෙන දෙන දුක්, දෝමනස්ස වේදනා යටපත් කරගනිමින් ඔබ සුන්දර කව් සිතුවිලි පමණක් කෙසේ තෝරා බේරා ගත්තේද? හෙළයේ බිහිවූ ශ්‍රේෂ්ට ගීත රචකයාණනි, ඔබට අපේ ගෞරවය පුද කරමි. (නි)
ඊලග උපන් දිනයට කවි පොත නෙත ගැටේවායි පතමි... (නි)
මේ ඉන්නේ ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ අවසන් හුස්ම ටික. මේ අය නැති දවසට අපේ ගීතය කොතනින් නවතියිද? (නි)
හොද ගීත රචකයෙක්. මොහු සම්බන්ද කර ගත හැකි ලිපිනයක් හෝ අංකයක් දන්නා කෙනෙක් ලබා දෙන්න. ඔහුට ගරු කිරීම සදහා අපි යමක් කල යුතුයි.(නදී)
ලස්සන කතාවක්. මේ වගේ ආදරේ දකින අය තාමත් ලෝකේ ඉන්නවද කියලා පුදුමයි. මතකය ලස්සන නම් තනිකමක් දැනෙන්නේ නැහැ. එලි දකින පොත් වලට සුබ පැතුම්! (නි)
මෑත කාලයේ ලංකාවේ බිහිවු විශිෂ්ටතම ගී පද රචකයා. (නි)
ලංකාවේ බිහිවූ විශිෂ්ට ගීත රචකයෙක් (නි)
අස්ථිර ලොවේ ස්ථිර කිසි දෙයක් නැත.. විස්තර ලෙසින් බුදු දහමේ කියා ඇත.. පින්බර පුතෙකු මිහිපිට බිහි කරපු කත.. නෙත්හැර ගියේ කම්පා කර සැමගෙ සිත.... නොපසුබටව ඉගෙනීමේ හැකියාවයි .. ජීවන මඟ දිනුම වෙත ගත් අභියෝගෙයි.. දුක් කරදර මැදින් නොසැලී ගිය රාවෙයි.. සරසවි වරම් ලැබු සේවය අසමානයි.... වෙබ් අඩවියට කවියෙන් පිලිතුරත් ගෙන.. කලා ලොවට යන මඟ දොර අරිනු මැන.. සාර් ජෝහාන් ටජ් මහලේ සිහිවටන.. වේවා ඔබේ පොත ආදරෙ බල මනින.(නදී)
ඔබේ ගී පදවැල් තවතවත් රැව් දේවා. මේ ලක් දෙරණේ. (ස)
බලන්නකෝ නාමල්, මේ පුවත අහල මගේ මහත්තයා මට පොරොන්දු උනා මේ අගෝස්තු 29 වෙනිදට 30ස් වැනි සැමරුමට රජ්මාහල් එක්ක යන්න. අපි ජීවත්ව හිටියොත් යනවා.(නදී)
මේ විස්තරය කියවාගෙන ගියේ එක හුස්මටය.මේ අයට තමා පින් කදවල් කියන්නේ." මගේ බිසව්නේ අසාපන්" අහනකොට මගේ ඇස් දෙකට කදුළු එනවා. මගේ මහත්තයත් ඒ වගේ කෙනක්. නමුත් මෙතුමා වගේ ගීත රචකයෙක්වත් කවි ලියන්නෙක්වත් නෙමෙයි. නිතරම කියනවා ටජ්මහලක් හදන්න බැහැ මට.කවදාහරි ටජ්මහල ලගට ඔයා එක්කන් යනවා කියලා. (නි)
වන වංක ගිරිය අරණේ .. සින්දුවත් හරි ලස්සනයි ... ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද රංජනී. අවුරුදු 30 පස්සේ යන්න? නැගෙනහිර වෙරළට ගිහින් එහෙ ඉන්න මිනිස්සුන්න්ටත් උදවු කරලා සල්ලිත් ඉතුරු කර ගන්න පුළුවන් ?..හිතලා බලන්න. සුබ පැතුම් මගෙනුත්....! (නි)
වැදගත් මහත්මයෙක් මට මටකයි දවසක් රූපවාහිනියේ ඇවිත් අමරදේව මහතා ගයන කරන සුදු නෙළුම කෝ ගීතය ලියන්න වුන කතාව කිවුවා. ආයුබෝ වේවා මහත්මයාණනි.. (නි)
කපුගේ මහත්තයත් හිටියනම් කියල හිතුනා.(ස)
කවි සිතක අරුමය... ඔබම විය නිබඳව... නෙත සිතක විස්මය... විදිනු හැකි වෙද නුඹ නොවේ නම්... (ර)
අගයමි හෙළ පුතුනි ඔබ (නි)
හදවතට සංවේදීව කතාකරන මිනිසෙක්............. (නි)
රත්න ශ්‍රී විජේසිංහ ඔබ අපිට ආඩම්භරයක් (දී)
කවියාණෙනි, මම ඔබගේ ජීවිත කතා පොත පිටවන තුරු ඉතා උවමනාවෙන් බල සිටිමි.(ස)
ටජ්මහල් හදපු කලාකරුවාගේ ඇස් අන්ධ කළා. වහල්ලු ලක්ෂ ගානක් දාලා නේද එය හැදුවේ? (නි)
ගීත ලෙසින් එලි දැක්වුණා ඒවා මොනවාද ? ලංකාවෙන් පිට ඉන්න නිසා කරුණාකරලා අපිට අහන්න දැනගන්න පුලුවන්ද කාගෙන් හරි ? (ස)
තෙල්ලඹුරේ අප ඔබව සිහිකරන්නේ,... පිපෙන පිච්ච මලකිය ඔබ සුවද පිරූ ගමට..... සුනිමල ගංගාවකි ඔබ දියවර දුන් රටට.... නීල අහස් කුඩය පුරා එළිය සදන හිරුට..... වඩා එළියකිය මන බැඳ පද වැල් ගෙතු කිවිඳ ..... (දී)
නියං හද, දෝ වන්න..., වහින වැස්සකි නුඹ..., කවි හදක, සොදුරු බව..., ගෙන ගියේ අප , නොනිමි සහිත අඹර , කුස වෙත...... (හේ)