(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි  සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කිරිමට සහ  ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන්වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට හෙට (18) ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණු බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (17) පැවැත්විණ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ එම  යෝජනාව අද සභාගත කිරීමෙන් අනතුරුව විවාදය  ඉදිරි දිනයකදී පැවැත්වීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව  මහ ලේකම්වරිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු හෙට (18) සිට ලබන 21වැනිදා  දක්වා පැවැත්වීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද  ඇය කීවාය.