(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ලොතරැයි පත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවිකරුවන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ අතර මහයියාව පූර්ණවත්ත (බටහිර) ග්‍රාම නිලධාරී වසමේ සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 106කි.

උත්සවය ඇමතූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ජාතිය ගොඩනැගීමේ අරගලයට ලොතරුයිපත් අලෙවිකරුවන් ලබා දෙන පූර්ණ දායකත්වයට ප්‍රණාමය පුද කිරීමක් ලෙස මෙම ඇගැයීම කරන බවයි.